විශේෂාංග

කාන්තාවන් දහස් ගණනකට ජීවිත අහිමි කළ ‘මායාකාරියන් දඩයම’

Published

Search Icon Search Icon Search Icon Search Icon

ආගම් හා බැඳුනු මිත්‍යා විශ්වාසයන් නිසා මිනිස් ඉතිහාසය පුරාවටම සිදුවුණු ලේ වැගිරීම්, යුද්ධ, සහ ජීවිත හානිවීම් අප්‍රමාණයි. ලෝකයේ ප්‍රධානම ආගම් බොහොමයක ඉගැන්වීම් කෙසේ වුවත්, එම ආගම් වල බහුතරයක් පූජකවරුන් සහ ආගමිකයන් පිළිපදින්නේ තම ශාස්තෘවරුන් දේශනා කළ ධර්මය නම් නොවෙයි.

ආගමික පොත්පත් වල සඳහන් ඉගැන්වීම් තමාට ප්‍රිය ආකාරයට, තමාට වාසිදායක අයුරින් අර්ථකතනය කිරීම නිසා අවසානයේ පූජකවරුන් විසින් සාමාන්‍ය ජනතාවට දේශනා කරන්නේ ශාස්තෘවරුන් විසින් මුලින් දේශනා කළ දහමට හාත්පසින්ම වෙනස් දහමක්. මේ නිසා එදිනෙදා ජීවිතයේ බොහොමයක් සංසිද්ධි පිළිබඳව වැරදි අවබෝධයන් ඇති කරගෙන බියට පත්වන සාමාන්‍ය ආගමිකයින්, එම බිය නැති කිරීම සඳහා ඉතාමත්ම විනාශකාරී ක්‍රම අනුගමනය කරනවා.

මධ්‍යතන යුගයේ අවසන් කාලයෙන් පසු යුරෝපය හා උතුරු ඇමරිකා මහාද්වීපය පුරා පැතිර ගිය මායාකාරියන් දඩයම් කිරීමේ ‍රැල්ල මෙයට හොඳම නිදසුනක්.

යුරෝපය පුරා කලබලයක්!

මායාකාරියන් හඳුනාගැනීම පිළිබඳව ලියැවුණු පොතක්. (British Library)

මධ්‍යතන යුගයේ අවසන් සමයත් මුල්කාලීන නූතන යුරෝපයත් පුරා ‘ආගමික’ බියක් පැතිර තිබුණා. ක්‍රිස්තියානීත්වයට හානිකර අයුරින් කුමන්ත්‍රණය කරන සාතන් අදහන මායාකාරියන් සමාජයේ තමන් අතර ජීවත් වන බවට මතයක් එකල මිනිසුන් අතර පැතිර ගියා.

මෙම මායාකාරියන් සාතන් වන්දනා කරන බවත්, මන්තර ගුරුකම් කටයුතු වල නියැලෙන බවත්, මායාකාරියන්ගේ සබත් දිනවල මුණගැසී කුමන්ත්‍රණ කරන බවත් සමාජය විසින් විශ්වාස කළ අතරම, බොහොමයක් පුද්ගලයින් ‘මායාකාරියන්’ ලෙස හංවඩු ගසා විවිධාකාරයේ කෲරතර දඬුවම් පමුනුවනු ලැබුවා. මෙම මායාකාරියන් අල්ලා දඬුවම් කිරීමේ ක්‍රියාවලිය ‘මායාකාරියන් දඩයම’ ලෙසින් හැඳින්වුනා.

මායාකාරියක් යැයි සැක කළ කාන්තාවන්ගේ බර කිරා බැලුවේ මායාකාරියන් බර අඩු යැයි සැලකුණු නිසායි. (jw.org)

ක්‍රි. ව. 1450 සිට 1750 පමණ වන කාලය දක්වා අවුරුදු 300ක් පමණ කාලයක් මෙම ක්‍රියාවලිය ඉතාමත් බහුලවම සිදු කෙරුනු අතර, ඉන් පසුවත් විටින් විට සිදුවීම් වාර්තා වුණා.

පල්ලියේ කාර්යභාරය

ඇමරිකානුවකු වූ කොටන් මේතර් විසින් 1693 දී පලකළ මායාකාර දඩයම පිළිබඳව වන අත් පොතේ පළමු පි‍ටුව. (Art.com)

මිනිසා ශිෂ්ටාචාරගත වූ දා පටන්ම බොහෝ සංස්කෘතීන් හි ගැහැණිය දුර්වල, චපල, පාපයට බර, දෙවැනි පන්තියේ පුරවැසියෙකු ලෙසයි සැලකුනේ. ඒබ්‍රහමික ආගම් අදහන රටවල මෙය පොදුවේ පිළිගත්, එමෙන්ම පල්ලිය විසින් අනුමත කෙරුනු මතය වුණා. ගැහැණිය පවට බර බවත්, සමාජයේ බොහෝ ගැටළු වලට මූලික වන්නේ ගැහැණිය බවත් වන ආකාරයේ මත මධ්‍යතන යුගය පුරාවටමත් මුල්කාලීන නූතන යුරෝපයේ දීත් පල්ලිය විසින් ප්‍රසිද්ධියේ දේශනා කෙරුනා.

මේ බොහොමයක් සිදුවීම ඇරඹුනේ 1484 දී 8වන ඉනසන්ට් පාප් වහන්සේ විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ‘මායාකර්ම’ තහනම් කිරීමත් සමඟයි. උන්වහන්සේ විසින් ජේකබ් ස්ප්‍රෙන්ජර් සහ හයින්රික් ක්‍රේමර් නම් සංවීක්ෂකයින් (එනම් 13වන සියවසේ දී රෝමානු ක‍තෝලිකයින් ආගම අත්හැරීම වැළැක්වීමටත් අන්‍යාගමිකයින් ආගමට හරහා ගැනීමටත් පල්ලිය විසින් පත් කළ ‘නිල නොලත් පොලිසිය’) දෙදෙනෙකු පත්කළේ මෙම ‘මායාකාරියන්’ පිළිබඳව ගැටලුවට පිළියමක් සෙවීමටයි.

මෙම පුද්ගලයින් දෙදෙනා විසින් “The Hammer of Witches’ (Malleus Maleficarum) නම් පොතක් ප්‍රකාශයට පත් කෙරුනු අතර, රෝමානු ක‍තෝලිකයින් සහ ප්‍රොතෙස්තන්ත්‍ර ආගමිකයින් මෙම පොත මායාකාරියන් දඩයම් කිරීමේ අත්පොතක් සහ අවසරපතක් ලෙස භාවිතා කළා.

මායාකාරියන් පිළිබඳව වන හුදෙක් මිත්‍යා කතා සහ ජනශ්‍රැති ප්‍රයෝජනයට ගෙන දේවධාර්මික සහ නීතිමය සාධක සහ කරුණු ද උපයෝගී කරගෙන ලියැවුණු මෙම පොතේ, මායාකාරියක් හඳුනාගන්නා ආකාරය, සහ දඬුවම් දෙන ආකාරය විස්තර කර තිබුණා. ඔවුන් මායාකාරියන් බවට ඔප්පු කිරීමට ගුරුකම් වල නිරතවීමේ සාක්ෂි අවශ්‍ය වුණේ නැහැ. වද හිංසා පමුණුවා පාපොච්ඡාරණයක් ලබාගැනීම පමණයි අවශ්‍ය වුණේ. පල්ලියේ අනුබලයත් අනුමැතියත් නිසා මෙම පොත වඩ වඩාත් අච්චු ගසා බෙදාහරිනු ලැබූ අතර, මිනිසුන් විසින් එම පොතෙහි අඩංගු කරුණු අනුගමනය කිරීමට පටන්ගත්තා.

මායාකාරියන් හඳුනාගන්නේ කෙසේ ද?

The Hammer of the Witches. (scolarcardiff.wordpress.com)

මායාකාරියක් හඳුනාගැනීම අපට නම් සිදු කළ නොහැක්කක්. නමුත් මායාකාරියන් පිළිබඳව අත්පොතක් ද සහිතව සිටි යුරෝපීයයන්ට නම් මෙය ඉතාමත්ම පහසු කටයුත්තක් වුණා.

තනපුඩු තුනක් තිබීම, අමුතු කැළලක් හෝ උපන් ලපයක් සමෙහි පිහිටීම, කොණ්ඩය අසාමාන්‍ය ලෙස කැරලි ගැසී තිබීම හෝ රත් පැහැ වීම, ඇස් වල පැහැය, හා ඇතැම්විට පූසෙකු වැනි සුරතල් සතෙකු අයත් වීම ද (ඒ සතෙකු වේෂයෙන් සිටින යක්ෂ ආත්මයක් විය හැකියි) කාන්තාවක් මායාකාරියක් ලෙස හංවඩු ගැසීමට මුල් වූ හේතු වුණා.

මායාකාරියන් ලෙස නම්කළ පිරිසෙන් 90%කටත් වඩා සමන්විත වුණේ කාන්තාවන්ගෙන්. මහළු කතුන්, ඉතා රූමත් කතුන්, වින්නඹුවන්, වෛද්‍යවරියන්, රසායන විද්‍යාව සම්බන්ධව දැනුමක් ඇත්තන් ඉතාමත්ම පහසු ගොදුරු බවට පත් වුණා. එසේම යම් ගමකට සුළි කුණා‍ටු වලින් හානි පැමිණියේ නම්, එළදෙනකට කිරි එරුනේ නොමැති නම්, කන්තාවක් හෝ පුරුෂයෙකු වඳ භාවයට පැමිණියේ නම්, එය මායාකාරී ක්‍රියාවක් බවට සැක කෙරුනු අතර සැක කටයුතු කාන්තාවන් අල්ලාගෙන ඔවුන් පාපොච්චාරණය කරන තුරු වධ හිංසා පමුණුවනු ලැබුවා.

තොම්ප්කින්ස් මැට්සන් විසින් 1853 දී නිර්මාණය කළ ‘Examination of a Witch’ නම් චිත්‍රය. (Salem Witch Trials Documentary Archive)

මායාකාරියන් ලෙස සැක කළ කාන්තාවන් නිශ්චිතවම මායාකාරියක් දැයි හඳුනා ගැනුනේ ඇය ශුද්ධ වූ ජලය කල්දේරමක ගිල්වීමෙනුයි. අතපය බඳිනු ලැබූ කාන්තාවන් දියට දමා ඔවුන් ගිලෙන්නේ නම් අහිංසක බවත්, පාවෙන්නේ නම් මායාකාරියක් බවත් තීරණය කළා. මායාකාරියන්ගේ සිරුරේ යක්ෂයාගේ සලකුණ තිබෙන බවට විශ්වාස කළ මොවුන්, ප්‍රසිද්ධියේ කාන්තාවන් නිරුවත් කර, ඔවුන්ගේ හිස් මුඩු කර සිරුර පුරා යක්ෂයාගේ සලකුණ සෙවීම පිණිස සෝදිසි කරනු ලැබුවා.

ඉදි ක‍ටුවකින් අනින විට දී ලේ නොගලන ලපයක්, උපන් ලපයක්, ඉන්නෙක්, හෝ කැළලක් තිබේ නම් එය යක්ෂයාගේ සලකුණ යැයි සලකා ඔවුන්ට දඬුවම් කරනු ලැබුවා.

මායාකාරියන්ට මරණ දඬුවම

සාලෙම් හි මායාකාරීන් දඩයම. (Salem Wikia)

විවිධාකාර හේතු නිසා අල්ලාගෙන මායාකාරියන් බවට හංවඩු ගසනු ලැබූවන්ගේ ඉරනම වුණේ මරණයයි. ඔවුන්ව දියේ ගිල්වා, එල්ලා, හෝ පණපිටින් පුළුස්සා ඝාතනය කරනු ලැබුවා. එසමයේ වරින් වර යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය පුරාවටම මායාකාරීන් පිරික්සුම් පවත්වනු ලැබුවා.

ට්‍රයර් පිරික්සුම (1581 – 1593), ෆුල්ඩා පිරික්සුම (1603 – 1606), වර්ච්බර්ග් පිරික්සුම (1626 – 1631), බැම්බර්ග් පිරික්සුම (1626 – 1631), සහ සාලෙම් පිරික්සුම (1692 – 1693) එවැනි ප්‍රධානම මායාකාරීන් පිරික්සුම් වූ අතර, සංඛ්‍යාලේඛන දත්ත වලට අනුව එම කාලය පුරාවටම මිනිසුන් 40,000ත් 60,000ත් අතර සංඛ්‍යාවක් මරා දමන්නට ඇති බවට වාර්තා වනවා.

මායාකාරීන් දඩයමේ උච්ඡතම සමයේ දී 100,000ට ආසන්න කාන්තාවන් සහ පුරුෂයින් ප්‍රමාණයක් මායාකාරියන් ලෙස නම්කර මරාදමන්නට ඇතැයි සැලකෙනවා.

මායාකාර දඩයම් ‍රැල්ලේ අවසානය

මායාකාරියකට දඬුවම් පැමිණවීම. (Pinterest)

සාක්ෂි නොමැති චෝදනාවන්ට වැරදිකරු කර, ඉතා අමානුෂික වද බන්ධන පමුණුවා සිදු කළ මෙම ඝාතනයන් ‍රැල්ල 18වන සියවසේ දී අඩුවන්නට පටන්ගත්තේ 1735 බ්‍රිතාන්‍ය මායාකර්ම පිළිබඳ පණත සම්මත වීමත් සමඟයි.

එනමුත් 1782 පමණ වන තුරුම විටින් විට යුරෝපය පුරා මායාකාරියන් දඩයම් කිරීම සිදු වුණා. 1928 දී හංගේරියානුවන් පිරිසක් මහළු කාන්තාවක් මායාකාරියක් බවට ප්‍රකාශ කොට පහර දී මරාදමනු ලැබූ අතර, 1976 දී ජර්මානු කාන්තාවකගේ නිවසට ගිනි තබා ඇයවත් ඇගේ සුනඛයිනුත් මරණයට පත්කළේ ඈ සුනඛ වේශයෙන් යක්ෂයාගේ නියෝජිතයින් තබාගෙන සිටින බව කියමිනුයි.

එසේම මෙක්සිකානුවන් කණ්ඩායමක් මායාකාරියක් යැයි සැක කළ කාන්තාවක් ගල් ගසා මරා දමනු ලැබුවේ ඇයගේ මායාකර්මයන් නිසා දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේට ප්‍රහාරයක් එල්ල වූ බව විශ්වාස කරමින්. ඒ 1981 තරම් මෑත අතීතයේ දී යි.

1597 දී ලොගී-කෝල්ඩ්ස්ටෝන්හි මායාකාරියන් පිරික්සුම පිළිබඳව ප්‍රකාශයට පත් කළ අත් පොතක්. (Glenbuchat Heritage)

ලෝක ඉතිහාසයේ කලු පැල්ලමක් ඉතිරි කළ මායාකාරියන් දඩයම තනි තනි පුද්ගලයින් විසින් කළ ක්‍රියාවක් වුණේ නැහැ. ‘මායාකාරියන් අල්ලා දඬුවම් දීම’ ක‍තෝලික හා ප්‍රොතෙස්තන්ත්‍ර පල්ලිවල නිල ප්‍රතිපත්තියක් වුණා. ‘මායාක්‍රමයන්’ වැරදි බවට වන මතයක් නිර්මාණය කොට, එය නීතිගත කර, එම වැ‍රැද්දේ නියැලෙන පුද්ගලයින්ට දඬුවම් දීමේ ක්‍රමයක් සකස් කිරීමට මූලික වූයේ එකල ක‍තෝලික පල්ලියයි.

පල්ලියේ මෙම ක්‍රියාදාමය නිසා ගිනිය නොහැකි තරමක් අහිංසක කාන්තාවන් හා පුරුෂයින්ට අමානුෂික දඬුවම් ලබා දී මරණයට පත්කරනු ලැබුවා. එමෙන්ම එහි අතුරු ප්‍රතිඵලයක් වුණේ යුරෝපීය පාරම්පරික වෛද්‍ය ක්‍රම අභාවයට යෑමත්, වෛද්‍ය ක්ෂේත්‍රයෙන් කාන්තාවන් ඉවත්ව එය පුරුෂයින් අතට පත්වීමත්. ප්‍රසිද්ධ මිත්‍යා විශ්වාස බලවත් ආගම් හා බැඳුනු කල සිදුවිය හැකි මහා විපත් වලට මේ මායාකාරියන් දඩයම ඉතා හොඳ උදාහරණයක්.

Sources: Levack, B. (1987) The Witch-hunt in Early Modern Europe

කවරයේ පින්තුරය: History_Medieval_Witchcraft_46131_SF_HD_1104x622-16×9.jpg  (history.com)

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්