විශේෂාංග

2050 දී ලෝකය මොනවගේ වේවිද?

Published

Search Icon Search Icon Search Icon Search Icon

2016 වසර ගෙවී ගිහින් 2017 වසර එළඹුණාට ලෝකයේ සැලකිය යුතු තරම් වෙනසක් වෙලා නැහැ. හැමදාම වගේ බස් එකේ තෙරපිලා රැකියාවට ගිහින්, වැඩ පහසු කරගැනීම සඳහා දවසෙන් වැඩි කොටසක් ඉලෙක්ට්‍රොනික් උපකරණ එක්ක ගත කරලා හවස් වෙලා පොඩි කඩේකින් රෑ කෑම එකකුත් අරගෙන ගෙදර එනවා.

2017 දී මෙහෙම වුණාට 2050 දී අපේ දවස කොහොම ගතවෙයිද? අපි ජීවත් වෙන ලෝකය මොන වගේ තැනක් වෙයි ද? මේ ඒ ගැන පොඩි විමසුමක්.

ඉහළ ජනගහනයක්

2050 දී ලෝකය ජනගහනය බිලියන 9.6 ක් (bevermann-gruppe.de)

දැනට දළ වශයෙන් ලෝක ජනගහනය බිලියන හත ඉක්මවා ගිහින්. නමුත් 2050 වසරේ දී මේ අගය මෙයට වඩා බොහොම ඉහළ අගයක් ගන්නා ඇති බවට විවිධ මූලාශ්‍ර අනාවැකි පළකරලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට අනුව එය බිලියන 9.6 කට ආසන්න අගයක් ගන්නවා. දැනට ඇති අගය මෙන් 30% ඉක්ම වූ වැඩි වීමක් වන එය තවත් ඉන්දියාවක් සහ චීනයක් ලෝක සිතියමට එකතු කළා හා සමානයි.

ඒනිසා ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල අවම කර ගැනීමට දැන් සිටම ක්‍රියාමාර්ග ගැනීම වැදගත්. දැනටම මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අරගලයක යෙදෙන දුප්පත් රටවල ජනගහන වර්ධන වේගය 2050 දී අනෙක් රටවල සාපේක්ෂ ව ඉහළ අගයක් ගැනීම නොවැළැක්විය හැකි නිසා ගෝලීය වශයෙන් උපත් පාලන ක්‍රම සහ ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ වාර්තාව මගින් අවධාරණය කර තිබෙනවා.

බහුතරයක් වයස්ගත අය

සෑම හය දෙනෙකුගෙන් ම එක් අයෙක් වයස හැට ඉක්ම වූ අයෙක් (wysokieobcasy.pl)

2050 දී දුප්පත් රටවල ජනගහන වර්ධන වේගය ඉහළ ගියද සංවර්ධිත රටවල තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්. එම රටවල උපත් අනුපාතයේ පහළ යාමක් සිදු වෙනවා. නමුත් උපතේදී ආයු අපේක්ෂාව සාමාන්‍යයෙන් වයස 76 ඉක්මවා යාහැකි බව යි දැනට පවතින මතය වන්නේ.

මේ හේතුවෙන් ලෝකයේ සෑම පුද්ගලයන් හය දෙනෙකුගෙන්ම එක් අයෙක් වයස හැට ඉක්මවූ අයෙක් බවට පත් වෙනවා. එසේම වයස්ගත ජනගහනය වැඩි වීම නිසා වයස හා සම්බන්ධ චිත්ත වික්ෂේපය (Dementia) වැනි රෝගයන්ගෙන් පෙළන පුද්ගල සංඛ්‍යාව දැන් පවතින අගය මෙන් තුන් ගුණයකින් ඉහළ යනවා. එසේම පිළිකා සහ දියවැඩියා රෝගීන් සංඛ්‍යාවද දෙගුණයක් වන්නේ සෑම වැඩිහිටියන් තිදෙනෙකුගෙන් ම එක් අයෙක් ගොදුරු කර ගනිමින්.

මෙහිදී ලෝකයට මුහුණ දීමට සිදු වන බරපතල ගැටලුවක් වන්නේ වැඩිහිටි ජනගහනයට අවශ්‍ය වන රැකවරණය සහ සෞඛ්‍ය පහසුකම් සැපයීමයි. ඒ නිසා දැනටම වැඩිහිටියන්ගේ කායික සහ මානසික අවශ්‍යතා හඳුනා ගනිමින් ඔවුන්ට අවැසි සේවා ලබා දීමට රොබෝවරුන් නිර්මාණය කිරීම කෙරෙහි ලෝකයේ බලවත් රටවල් කිහිපයක ම අවධානය යොමුව තිබෙනවා.

සෞඛ්‍ය පහසුකම්

ඖෂධ නිපදවීම සඳහා පොපි මල් (wallpaperswide.com)

වැඩිහිටි ජනගහනයට විවිධ රෝගාබාධවලින් පීඩා විඳීමට සිදු වුවද 2050 දී ලෝකයේ ළමා සහ තරුණ ජනගහනයෙන් බහුතරය ඉතා නිරෝගී අයයි. එයට හේතුව ලෙස ඉහළ වෛද්‍ය පහසුකම් වර්ධනය වීම හඳුන්වන්න පුළුවන්.

දැනට වාර්ෂික ලෝක ජනගහනයෙන් මිලියන දෙකක පමණ පිරිසක් මැලේරියා සහ ඒඩ්ස් වැනි රෝගයන් හේතුවෙන් මිය ගියද 2050 වසර වන විට අඩ සියවසක් තිස්සේ සිදුවූ විද්‍යාත්මක පර්යේෂණ මගින් මෙවැනි රෝග සඳහා සාර්ථක එන්නත් සොයා ගැනීම සිදුවනු ඇතැයි විශ්වාස කරනවා. එසේම විද්‍යාඥයින්ගේ මතය වන්නේ බොහෝ ඖෂධ නිපදවීම සඳහා දුම්කොළ සහ පොපි මල් යොදා ගනු ඇති බවයි.

මිල අඩු එහෙත් බලයෙන් වැඩි පරිගණක

අනාගතයේ සුපිරි පරිගණක (versus.com)

ඉදිරියට එළැඹෙන්නේ තොරතුරු තාක්ෂණ යුගයක්. පරිගණක විද්‍යාඥයින්ගේ මතය අනුව 2050 දී දැනට පවතින පරිගණක මෙන් දහස් ගුණයක් බලයෙන් වැඩි පරිගණක නිපදවීම සිදු වෙනවා.

ඒ අනුව වර්තමානයේ දී ඇමෙරිකානු ඩොලර් 500 ක් ගෙවා මිල දී ගන්නා පරිගණක කොටසක් අනාගතයේ දී ඇමෙරිකානු ඩොලර් .50 ක් වැනි ඉතා සුළු මුදලකට අලෙවි විය හැකියි. මේ හේතුවෙන් ලෝකයේ සෑම දෙනාටම පාහේ පරිගණක භාවිතය සඳහා දොරගුළු විවර වෙනවා.  

එසේ ම 2050 දී පරිගණකය හරහා අපගේ මොළයේ විද්‍යුත් සංස්කරණයක් ඩිජිටල් අවකාශයට උඩුගත (upload) කිරීමේ අවස්ථාව හිමිවෙනවා. ඒ අනුව කැමති අයෙක්ට පරිගණක මතකයක් ඔස්සේ ජීවත්වීම පිළිබඳ සාම්ප්‍රදායික මතය අබිබවා ගිය සදාකාලික ජීවිතයක් ළඟා කර ගත හැකියි.

කටයුතු පහසු කරන තාක්ෂණික උපකරණ

භාණ්ඩ යැවීමට ඩ්‍රෝන යානා (theloadstar.co.uk)

අනාගතයේදී රෝහල් වැනි ස්ථාන සඳහා හෝ විශාල ඇසුරුම් යැවීම සඳහා ඩ්‍රෝන යානා යොදා ගැනීම සිදුකරනු ඇතැයි මත පළවී තිබෙනවා. එසේම ගොඩනැගිලි නිර්මාණය, නිෂ්පාදන ක්‍රියාවලි සහ අලුත්වැඩියා කිරීම් වැනි කටයුතු සඳහා තාක්ෂණය යොදා ගනිමින් ආරක්ෂිත ඇඳුම් නිර්මාණය කිරීම සිදු වෙනවා. මේ මගින් බලාපොරොත්තු වන්නේ රැකියාවේදී සිදු වෙන අනතුරු සැලකිය යුතු තරම් අඩු කර ගැනීමයි.

එසේම 2050 වසරේදී අධ්‍යාපන කටයුතු සඳහා තාක්ෂණය මගින් විශාල රුකුලක් ලබා දෙනවා. පළමු ලෝක සංග්‍රාමය පිළිබඳව පෙළපොත් මගින් හැදෑරිමේ කාලය අවසන් වී අධි තාත්වික ඩිජිටල් නිර්මාණ ඔස්සේ සිසුන්ට සැබෑ ලෙසම පළමු ලෝක සංග්‍රාමය තුළට පිවිසීමට අවස්ථාව උදාවෙනවා. ගූගල් සමාගම දැනටමත් මේ සඳහා මූලික අඩිතාලම දමා අවසන්. එහි ප්‍රතිඵලයක් ලෙස සජීවිකරණ ඉගෙනුම් අත්දැකීමක් සඳහා Google Play Store හරහා Google Expeditions බාගත කර ගැනීමට හැකි යි.

සම්පත් හිඟතාවය නිසා ප්‍රතිචක්‍රීයකරණය කරා

සම්පත් රැක ගැනීමට ප්‍රතිචක්‍රීයකරණය (recyclepoints.com)

2050 දී ලෝකය තොරතුරු තාක්ෂණ අංශයෙන් ඉහළම ස්ථානයක සිටියද බිලියන නවය ඉක්මවාගිය පුද්ගල සමූහයකගේ අවශ්‍යතා පිරිමැසීම සඳහා පවතින ස්වභාවික සම්පත් ශීඝ්‍රයෙන් ක්ෂයව යාම නතර කිරීම හෝ යළිත් වරක් කෘතිමව ස්වභාවික සම්පත් උත්පාදනය කිරීම සඳහා එයට කළ හැකි දෙයක් පවතින්නේ නැහැ. ඒ අනුව මිනිසාගේ සුවතාවය සහ පාරිසරික සුවතාවය අතර පවතින සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සඳහා ‘සාකල්‍ය සුවතාවය’ නම් සංකල්පයක් හඳුන්වා දෙනවා.

ඒ අනුව හුදෙක්ම සම්පත් ප්‍රතිචක්‍රීයකරණය කරනවා වෙනුවට ලෝහ වර්ග සහ තෙල් අණු නැවත භාවිතා කිරීමේ ක්‍රමවේදයක් වර්ධනය කිරීම සිදුවෙනවා. මෙසේ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රමවේදයේ වර්ධනය නිසා වර්තමානයේ දී මෙන් 2050 දී ප්‍රතිචක්‍රීයකරණය හේතුවෙන් අදාළ නිෂ්පාදිතයේ වටිනාකම හෝ තත්ත්වය බාල වීමක් සිදු වන්නේ නැහැ.

එසේම භාණ්ඩ නිෂ්පාදනයේ දී ඒවායේ සැබෑ වටිනාකම 100% ක් ආරක්ෂා වන ආකාරයට ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි වන ලෙස එම ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සිදු වෙනවා.

මූලික ශක්ති ප්‍රභවය ලෙස හිරු එළිය

හිරු එළියෙන් රැස් කිරීම සඳහා සූර්ය බලශක්ති මධ්‍යස්ථාන (youtube.com)

2050 වසරේ දී වාහන හෝ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාවේ යෙදවීම සඳහා තව දුරටත් ඛනිජ තෙල් අවශ්‍ය නොවුණද ගුවන් යානා ඉන්ධනයක් ලෙස එය තව දුරටත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස පවතිනවා. නමුත් අනෙකුත් කටයුතු බොහෝමයක් සඳහා අවශ්‍ය වන ශක්ති ප්‍රභවය ලෙස යොදා ගන්නේ හිරු එළියයි. මේ අනුව සූර්ය ශක්තිය එක් රැස් කිරීම සඳහා 2030 වර්ෂය වන විට සහරා කාන්තාරය වැනි ප්‍රදේශවල දැවැන්ත සූර්ය බලශක්ති මධ්‍යස්ථාන (Solar Farms) ගොඩ නැංවීම ආරම්භ කිරීම දැකීමට අපට හැකියාව ලැබෙයි.

එසේම හිරු එළියට අමතරව තවත් වැදගත් ශක්ති මූලාශ්‍රයක් ලෙස ඉතා විශාල ලෙස න්‍යෂ්ටික බලය භාවිතා කිරීම සිදුවෙනවා. ලෝකයේ බොහෝ රටවල් න්‍යෂ්ටික බලාගාර ඉදිකරනු ඇති අතර එයින් මූලික ස්ථානය චීනය විසින් ගනු ඇතැයි දැනටම අනාවැකි පළවී තිබෙනවා.

පාරිසරික ගැටලු

මුහුදු ඛාදනය (worldoceanreview.com)

ඉහළ යන ජනගහනය, තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුව සහ ස්වභාවික සම්පත් ක්ෂය වීම යන හේතූන් නිසා 2050 දී දැන් පවතින තත්ත්වය මෙන් 50% ගුණයකින් පාරිසරික ගැටලු ඉහළ යාම සිදු විය හැකියි. ඒ අනුව ලෝකයාට මුහුණ දීමට සිදු වන අනාගත පාරිසරික අභියෝගයන් ලෙස උෂ්ණතවය ඉහළ යාම, ග්ලැසියර දියවීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස මුහුදු ඛාදනය සිදු වීම, ජෛව විවිධත්වයේ බිඳ වැටීම සහ කෘෂිකාර්මික නිෂ්පාදන පහළ වැටීම හඳුනාගෙන තිබෙනවා.

නමුත් මෙයට වඩා හාත්පසින්ම වෙනස් මතයක්ද ඉදිරිපත්ව තිබෙනවා. ඒ අනුව දැනටම රටවල් පරිසරය සුරැකීම සඳහා විවිධ ක්‍රියාමාර්ගයන් ගෙන ඇති නිසා අනාගතයේ දී අදට වඩා හරිත පැහැ ලෝකයක් බිහිවීමට හැකියාවක් ඇති බවයි ඇතැම් විද්‍යාඥයින්ගේ මතය වන්නේ.

මේ ආකාරයට 2050 දී ලෝකය පැවතිය හැකි ආකාරය පිළිබඳ ව නොයෙකුත් මත පළ වී තිබෙනවා. කෙසේ වුවද අනාගතයේ දී අප ජීවත් වන ලෝකය අදට වඩා හොඳ හෝ නරක එකක් විය හැකියි.

එය තීරණය වන්නේ අද අප ක්‍රියාකරන ආකාරය මතයි. බුද්ධිමත්ව සිතා බලා මනුෂ්‍ය වර්ගයාට පමණක් නොව අනෙකුත් සතුන්ට මෙන්ම පෘථිවි තලයටද යහපතක් වන ලෙස ක්‍රියා කළහොත් අප සැමට දීප්තිමත් අනාගතයක් හිමි කරගන්නට හැකියාව ලැබේවි.

මූලාශ්‍ර: europe.newsweek.com, businessinsider.com, en.wikipedia.org, theconversation.com, indy100.com

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

Comments