කලාව සහ ජීවන රටා

මිනිස් සිරුර ගැන මිථ්‍යා කතා

Published

Search Icon Search Icon Search Icon Search Icon

තාක්ෂණය කොතරම් දියුණු වුණත් අදටත් ලෝකයේ බිහි වී ඇති අද්විතීයම නිර්මාණය ලෙස සැලකෙන්නේ මිනිස් සිරුර යි. ඇතැම් අවස්ථාවල දී වෛද්‍යවරුන් පවා මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වයෙන් විශ්මයට පත් වන බව නොරහසක්.

(mindamuse.com)

මේ නිසා ම මිනිස් සිරුර ගැන මිථ්‍යා කතා බොහෝමයක් සාමාන්‍ය අය අතරේ ප්‍රචලිත වීම පුදුමයට කරුණක් නෙමෙයි. මේ ලිපියේ අරමුණ එවැනි මිථ්‍යා කතා කිහිපයක විද්‍යාත්මක පසුබිම ඔබ වෙත ගෙන ඒම යි.

මිනිසුන් භාවිතයට ගන්නේ මොළයේ ධාරිතාවයෙන් 10% ක් පමණ ද?

ලෝකය පුරා සාමාන්‍ය ජනයා අතර ප්‍රචලිත මේ මිථ්‍යා කතාවේ ඉතිහාසය 18 වැනි සියවස දක්වා දිව යනවා. එසේ ම Limitless සහ Lucy වැනි හොලිවුඩ් චිත්‍රපටි මගින් පවා සිදු කර ඇත්තේ මේ බව තහවුරු කිරීම යි.

නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ස්නායු පිළිබඳ විශේෂඥයෙකු වන බැරී ගෝඩන් පවසන්නේ මෙය සම්පූර්ණයෙන් ම මිථ්‍යා කතාවක් බව යි.

(siracusasailingcenter.com)

ඒ අනුව සෑම පුද්ගලයෙක්ගේ මොළයේ සියලු ම කොටස් දවසේ වැඩි කාලයක් (නිදා සිටින විට දී පවා) උපරිම ධාරිතාවයෙන් යුතු ව ක්‍රියාත්මක වෙනවා. මොළය සම්බන්ධයෙන් සිදු කර ඇති ස්කෑන් පරීක්ෂාවන් මගින් මේ බව තහවුරු වී තිබෙනවා. මොළයේ ඇතැම් කොටස් අනෙක් ඒවාට වඩා වැඩි ක්‍රියාකාරීත්වයක් දැක් වුව ද සමස්තයක් ලෙස මොළය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වන අතර කිසිම විටෙක මොළයේ මොනයම් හෝ කොටසක් අක්‍රීය ව නොපවතින බව යි පැවසෙන්නේ.

එසේ වුණත් එහි අවසාන ප්‍රතිඵලය වන්නේ යළි සුව කළ නොහැකි ආකාරයට මොළයට හානි සිදු වීම යි.

අඩ අඳුරේ පොත්පත් කියවීම ඇස්වලට හානිකර ද?

(flickr.com)

හවස් යාමයේ අඩ අඳුරේ හිඳගෙන පොත්පත් කියවන වෙලාවට නිරන්තරයෙන් ම අම්මගේ මුවෙන් ගිලිහෙන වදනක් තමයි “කළුවරේ පොත් බලලා ඇස් නරක් කර ගන්න එපා” කියන එක. අඩ අඳුරේ සිට පොත්පත් කියවීම හෝ පරිගණක තිරය දෙස දිගු වේලාවක් බලා සිටීම ඇස් පෙනීම ක්‍රමයෙන් වියැකී යාමට හේතු වෙන බව බොහෝමයක් දෙනා අතර පවතින මතයක්.

හොඳින් ඇස් පෙනීම යනුවෙන් පොදු ව්‍යවහාරයේ දැක්වෙන්නේ කුඩා දේවල් ග්‍රහණය කර ගැනීමට ඇසට ඇති හැකියාව යි. මෙසේ කුඩා තොරතුරු වඩාත් හොඳින් ග්‍රහණය කර ගත හැකි වන්නේ මනා එළියක් පවතින අවස්ථාවක දී වන අතර අඩ අඳුරේ දී සිදු වන්නේ නිසි ආලෝකයක් නොමැති වීම නිසා කුඩා තොරතුරු නිසි ලෙස ග්‍රහණය නොවීම පමණ යි.

එයින් ඇස් පෙනීම දුර්වල වන බව හෝ අඩ අඳුරේ දී පොත්පත් කියවීම ඇස්වලට හානි කර බව කියවෙන්නේ නැහැ. මෙවැනි අවස්ථාවක දී ඇස තාවකාලික ව වෙහෙසට පත් වන අතර නිසි විවේකයක් ලබා ගැනීම තුළින් ඇස යළිත් යථා තත්ත්වයට පත් වෙනවා.

මිනිසුන්ට ඇත්තේ සංවේදයන් පහක් පමණ ද?

(images.jg-cdn.com)

ඇස, කන, නාසය, දිව සහ සම යන පංචේන්ද්‍රියන් මගින් පෙනීම, ඇසීම, ගන්ධය, රසය සහ ස්පර්ශය යන සංවේදයන් ග්‍රහණය කර ගත හැකි බව කුඩා කාලයේ සිට ම අපි කවුරුත් දන්නා කරුණක්. නමුත් මිනිසුන්ට ඇත්තේ මේ සංවේදයන් පහ පමණ ද? මේ පිළිබඳ ව පර්යේෂණ පවත්වන ලද විද්‍යාඥයින්ගේ මතය වන්නේ මිනිසුන්ට ඇති සංවේදයන් ගණන විසි එකක් (21) දක්වා විහිදී යන බව යි.

ඒ අනුව සමබරතාවය, උෂ්ණත්වය, වේදනාව, කුසගින්න වැනි මිනිස් ඉන්ද්‍රියයන්ට දැනෙන දේ පමණක් නොව කාලය පිළිබඳ හැඟීම, හුරුපුරුදු බව සහ යම් නිශ්චිත ක්‍රියාවක් කිරීමට ඇති හැකියාව යන දේවල් ද වෛද්‍ය විශේෂඥයින් විසින් මිනිස් සංවේදයන් ලෙස සලකනවා.

(emergingwomen.com)

දහඩිය සමග සිරුරේ ඇති විෂ ඉවත් වෙනවා ද?

දහඩිය නියැදියක් පරීක්ෂා කර බැලුවොත් එහි ඉතාමත් කුඩා ප්‍රමාණයන්ගෙන් අඩංගු වී තිබෙන විෂ ද්‍රව්‍ය හඳුනා ගන්න පුළුවන්. නමුත් සිරුරේ ඇති විෂ ඉවත් කිරීමේ සාර්ථක ක්‍රමයක් ලෙස දහඩිය පිට වීම හඳුන්වන්න බැහැ. සිරුරෙන් දහඩිය පිට කිරීමේ මූලික අරමුණ වන්නේ ශරීර උෂ්ණත්වය පාලනය කිරීම යි. මෙහි දී සිරුරේ ඇති විෂ ද්‍රව්‍යයන්ගෙන් 1% ක් වැනි ඉතාමත් සුළු ප්‍රමාණයක් ඉවත් වීම සිදු වෙනවා.

(hercampus.com)

සත්‍ය වශයෙන් ම සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමේ කාර්යය සඳහා වැඩි වශයෙන් දායක වන්නේ වකුගඩු සහ අක්මාව යි. එම ඉන්ද්‍රියයන් මගින් රුධිරයට මුසු වී ඇති විෂ ද්‍රව්‍ය පෙරනයට ලක් කරන අතර සිරුරෙන් ඉවත් කළ යුතු ද්‍රව්‍යයන් මුත්‍රා ලෙස පිට කිරීම සිදු කරනවා. මේ සඳහා සිරුරට වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍ය වන අතර දහඩිය දැමීම මගින් සිදු වන්නේ මෙම ක්‍රියවලියට සහය ලබා දීම නොව අඩපණ කිරීම යි.

සුදෝසුදු දත් දෙපළ නිරෝගී ද?

(clinicaodontoquality.com.br)

සුදෝසුදු දත් දෙපළක් හිමි කර ගැනීමට යොදා ගත යුතු දන්තාලේප ගැන නම් රූපවාහිනි දැන්වීම් අපමණ යි. එහෙත් මේ දැන්වීම්වල දක්වන ආකාරයේ සුදෝසුදු දත් දෙපළ ඇත්තට ම නිරෝගී ද? දන්ත වෛද්‍ය විශේෂඥයින් සඳහන් කරන ආකාරයට ස්වභාවික, නිරෝගී දත් දෙපළ සුදෝසුදු පැහැයෙන් යුක්ත වන්නේ නැහැ.

නිරෝගී දත් ළා කහ පැහැයෙන් යුතු වන අතර එනමල ඇති පෙදෙස පමණක් ඇත්දළයක් මෙන් මලානික සුදු පැහැයක් ගත යුතු යි.

දත් තද කහ පැහැයෙන් යුතු වීම ද එතරම් ශුභදායක නැහැ. බොහෝ වෙලාවට එයට හේතු වන්නේ අධික ලෙස දුම් පානය කිරීම හෝ දුර්ලභ පරිවෘත්තීය ආබාධයක් නිසා විය හැකි යි. විරංජනය (bleaching) සහ එනමලයේ උඩු ස්ථරය ඔප දැමීම මගින් එවැනි තත්ත්වයක් මග හරවා ගත හැකි වුව ද ඒ මගින් දත් ස්ථිර ලෙස ම දුර්වල වීම නොවැළැක්විය හැකි යි.

ඉතින් අපි මෙහි දැක්වූ ඒවාට අමතරව තවත් මිනිස් සිරුර සම්බන්ධ වැරදි විශ්වාස ගැන ඔබත් දන්නවාද? Comment වලින් අපිට ඒ ගැන කියන්නත් අමතක කරන්න  එපා.

කවරයේ පින්තූරය: (concursopn.sebrae-sc.com.br)

මූලාශ්‍ර: scientificamerican.com, bbc.com, pattyvisioncenters.com, en.wikipedia.org, goaskalice.columbia.edu, sciencefocus.com

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්