ප්‍රවෘත්ති සහ වාර්ථාමය

ලොව පුරා භීතිය වපුරන ISIS සංවිධානයේ ආරම්භය සිදුවූනේ කොහොමද?

Published

Search Icon Search Icon Search Icon Search Icon

මනෝරාජික ඉස්ලාම් අධිරාජ්‍යයක් ගොඩනැගීම තම අරමුණ යැයි පවසන ISIS සංවිධානය මේ මොහොත වනවිටත් ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම භීතියේ සෙවණැලි පතුරා අවසන්. ඉරාකයේ සහ සිරියාවේ ප්‍රදේශ ගණනාවක් සිය අණසක යටතේ තබාගෙන සිටින මෙම ත්‍රස්ත සංවිධානයට ලෝකයේ වෙනත් රටවල (විශේෂයෙන්ම ඇෆ්ගනිස්තානයේ සහ නයිජිරියාවේ) ක්‍රියාත්මක වන ඇතැම් ඇතැම් ත්‍රස්තවාදී සංවිධානවලත් සහය ලැබෙන බව කවුරුත් දන්නා දෙයක්.

2020 වන විට තමන් යටතේ ඇති ප්‍රදේශ යැයි නම් කරමින් අයිසිස් විසින් නිකුත් කළ සිතියම/Mirror.

2020 වන විට තමන් යටතේ ඇති ප්‍රදේශ යැයි නම් කරමින් අයිසිස් විසින් නිකුත් කළ සිතියම/Mirror.

තම පාලනය යටතේ ඇති ප්‍රදේශවල දිවි ගෙවන අන්‍යාගමිකයන් සහ තමන්ගේ මතයන්ට එකඟ නොවන මුස්ලිම්වරුන් වධ බන්ධනයන්ට ලක් කරමින්, ඝාතනය කරමින් සහ පලවා හැරීමෙන් නොනැවතී ලෝකයේ පෙර-අපර දෙදිග රටවල ප්‍රධාන නගර ඉලක්ක කරමින් නොයෙකුත් ආකාරයෙන් සැලසුම් කරන ලද ප්‍රහාර එල්ල කරන මොවුන් සුපිරිසිදු ඉස්ලාමික අධිරාජ්‍යය පිලිබඳ සිහින පෙන්වා බොහෝ මුස්ලිම් තරුණ තරුණියන් අන්තවාදිත්වයට නැඹුරු කරගැනීමද සිදු කරනු ලබනවා.

ඉතින්, ලොවක් භීතියට පත් කළ ISIS සංවිධානයේ උපත සිදුවුවේ කෙසේද යන්න පිලිබඳ මේ ලිපියෙන් පැහැදිලි කෙරෙනු ඇති.

විවිධ නාමයන්

ඔබ ISIS, ISIL, IS, Daesh යන වචන සියල්ලම ප්‍රවෘත්තිවලින් අසා ඇති. මේ සෑම එකක්ම සංවිධානය හැඳින්වීමට භාවිතා කරන නාමයනුයි.

ඒවායින් අදහස් කරන්නේ මොනවාද යන්න ගැන දැන් වෙන වෙනම සලකා බලමු.

2015 නොවැම්බර් පැරිස් ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට පුෂ්පෝපහාර දක්වන ජනපති ඔලන්දේ (දකුණේ සිට දෙවෙනියට)/ Buzz Feed.

2015 නොවැම්බර් පැරිස් ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට පුෂ්පෝපහාර දක්වන ජනපති ඔලන්දේ (දකුණේ සිට දෙවෙනියට)/ Buzz Feed.

ISIS (Islamic State of Iraq and Syria)

2014 වසරේදී ඉරාකයේ මොසූල් නුවර අත්පත් කරගන්නා විට මෙම සංවිධානය භාවිතා කරනු ලැබුවේ මෙම නාමයයි. සිරියාව තුළ තමන් අත්කරගෙන ඇති බලය පිළිබඳ හැඟවීමටයි ඔවුන් එසේ කරනු ලැබුවේ. ලෝකයේ වැඩි දෙනා දැනටත් මෙම සංවිධානය හඳුනන්නේ මෙම නමින්.

ISIL (Islamic State of Iraq and Levant)  

‘ඉස්ලාමික රාජ්‍යය’ හැඳින්වීමට ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා යොදා ගත්තේ මෙම නමයි. මෙහි ‘ලෙවන්ට්’ලෙස හැඳින්වෙන්නේ නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ ප්‍රදේශ හැඳින්වීමට භාවිතා කරනු ලබන ඓතිහාසික නාමයක්.

IS (Islamic State)

තමන්ට ඇත්තේ ගෝලීය අරමුණක් බව පෙන්වීම සඳහා සංවිධානය විසින්ම පසුව මෙම නම භාවිතා කරන්නට පටන් ගනු ලැබුවා. අනෙක් අතට තමන් සුපිරිසිදු ඉස්ලාමීය රාජ්‍යයක් බිහි කරන බව අඟවන්නත් ඔවුන් මෙම නම භාවිතා කරනවා.

Daesh

ප්‍රංශ ජනපති ප්‍රංෂුවා ඔලන්දේ ඇතුළු ලෝක නායකයන් බොහොමයක් අයිසිස් සංවිධානය මෙසේ හඳුන්වන්නට ගත්තේ 2015 නොවැම්බර් මස පැරිස් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟයි. ‘දේශ්’ යනුවෙන් උච්ඡාරණය කෙරෙන මෙය  al-Dawla al-Islamiya al-Iraq al-Sham (Islamic State of Iraq and the Levant) යන්න හැඳින්වීමට භාවිත කරන සංකේත නාමයක්.

එමෙන්ම අරාබි බසින් එය භාවිතා කරන්නේ එම සංවිධානය පහත් කොට සැළකීමක් ලෙසයි. එමනිසාම සිරියානු රජය වැනි විරෝධීන් මෙම යෙදුම භාවිතා කරනවා. සංවිධානය එම යෙදුමට අකමැති බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරීම

බෑග්ඩෑඩ්හි පිහිට තිබූ ඉරාක ජනාධිපති මැදුර ඇමරිකන් ප්‍රහාර නිසා ඇති වූ දුමෙන් වැසී තිබුණ අයුරු/US News.

බෑග්ඩෑඩ්හි පිහිට තිබූ ඉරාක ජනාධිපති මැදුර ඇමරිකන් ප්‍රහාර නිසා ඇති වූ දුමෙන් වැසී තිබුණ අයුරු/US News.

අයිසිස් සංවිධානයේ ආරම්භය ගැන  කතා කරන විට ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරාකය ආක්‍රමණය කළ 2003 වසර තෙක් කාලයේ පසුපසට යාමට අපට සිදුවනවා. ඉරාක රෙජීමය බිඳ වැටීමෙන් අනතුරුව ඇමරිකාව විසින් ආරම්භ කළ ‘de-Baathification’ ලෙස හඳුන්වනු ලැබූ වැඩපිළිවෙල යටතේ ඉරාකය එහි බාත් පක්ෂයේ බලපෑමෙන් නිදහස් කරදැමීමට සැලසුම් කළා. මේ පියවර නිසා එතෙක් සදාම් හුසේන්ට පක්ෂපාතීව සිටි දහස් ගණනක් සුන්නි මුස්ලිම්වරුන්ට ‘කුඩම්මාගේ සැලකිලි’ ලැබුණ අතර එය ඔවුන්ගේ දැඩි කෝපයට හේතු වුණා.

මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ අල්කයිඩා සංවිධානය ඉරාකය තුල තම කඳවුර වඩාත් ශක්තිමත් කිරීම වෙනුවෙන් පියවර ගන්නට සැරසුණා. ඒ ‘ඉරාකය තුල අල්කයිඩාව’ යන නාමය යටතේ.

මේ කාලයේදී අල්කයිඩා සංවිධානය ඉරානයේ සහයෝගය ලබමින් සිටි ෂියා මිලිෂියාවට එරෙහිව මධ්‍යම ඉරාකයේ සටන් වදිමින් සිටියා. එමෙන්ම ඉරාකයට අසල්වාසී ජෝර්දානයේ යම් යම් ස්ථාන ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාර එල්ලකිරීමටත් ඔවුන් කටයුතු කළා. එහිදී අත්අඩංගුවට ගත් බොහෝ ත්‍රස්තවාදීන් ඇමරිකාව විසින් පවත්වාගෙන ගිය ‘බුකා කඳවුර’ වෙත යවනු ලැබූ අතර එහිදී ඔවුන්ට ‘රැඩිකල් ඉස්ලාමය’ කෙරෙහි නැඹුරු වීමට අවස්ථාව සැලසුණ බව පැවසෙනවා.

කෙසේ හෝ 2007 වසරේ සිට ඇමරිකානු සහයෝගය යටතේ බෑග්ඩෑඩ් නුවර පවත්වාගෙන ගිය ෂියා ආණ්ඩුව සුන්නිවරුන්ට සමීප වෙමින් ‘ඉරාකය තුල අල්කයිඩාව’ ප්‍රතික්ෂේප කරන්නට පෙළඹවීම් කරනු ලැබුවා. මෙම වැඩපිළිවෙල යම් තරමකට සාර්ථක වූ බව පෙනෙන්නට තිබුණත් ඒ සියල්ල උඩු යටිකුරු වුණේ ‘අරාබි වසන්තය’ එළඹීමත් සමඟයි.

අරාබි වසන්තය

සිරියාවේ අසාද් විරෝධී රැලියක්/CBS News.

සිරියාවේ අසාද් විරෝධී රැලියක්/CBS News.

ටියුනීසියාවෙන් ආරම්භව 2011 වසරේ සිරියාවට පැමිණි ‘අරාබි වසන්තයේ’ ප්‍රථිපලයක් ලෙස ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහිව මහජන විරෝධතා පැන නැගුණා. මේ විරෝධතා ඇරඹී ටික කලක් ගත වුණ පසු ඒවාට රජය විසින් ප්‍රහාර එල්ල කිරීමත්, කැරලිකරුවන් විසින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් නිසා රට තුල පැනනැගුනේ ප්‍රචණ්ඩකාරී වාතාවරණයක්.

‘ඉරාකය තුළ අල්කයිඩාව’ මෙම තත්වයෙන් ඵල නෙලාගත්තා. ඉරාකයේ ස්ථානගත කර තිබූ තම මෙහෙයුම් කටයුතු සිරියාවට රැගෙන ආ ඔවුන් තම අදහස් හා සමපාතවන අදහස් දරණ කණ්ඩායම් සමඟ සංධාන ගතවී සංවිධානයේ නම ‘ඉරාකය සහ සිරියාව සඳහා වූ ඉස්ලාමික රාජ්‍යය’ ලෙස වෙනස් කරගත්තා.

ඉරාකය තුල ක්‍රියාත්මක වුණ අල්කයිඩා සාමාජිකයන් ගත් මේ පියවරට අල්කයිඩා මූලස්ථානය කිසිසේත්ම එකඟ වූවේ නෑ. මෙයට හේතුවුයේ ඔවුන් ඒ වන විටත් ‘සිරියාවෙහි අල්කයිඩාව’ ලෙස තම කටයුතු ව්‍යාප්ත කිරීමට සැලසුම් සකස් කර තිබූ නිසායි. මේ නිසා අල්කයිඩා මූලස්ථානය සහ අයිසිස් සංවිධානය අතර ගැටුම් හට ගත්තා. ඒවායේ ප්‍රථිපලයක් ලෙස අයිසිස් අල්කයිඩා සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළා.

සිරියානු සිවිල් යුද්ධය

සිරියාව දිනෙන් දින ලෙයින් නැහැවෙද්දි අයිසිස් සංවිධානය එහි ප්‍රධාන නගර කිහිපයක්ම සම්පූර්ණයෙන් අත්පත් කරගැනීමට සමත් වුණා. ත්‍රස්ත සංවිධානයක් විසින් එවැන්නක් කළ ප්‍රථම වතාව එය ලෙසයි සැලකෙන්නේ. සිරියාවට අමතරව ඉරාකයේ ප්‍රදේශ ගණනාවක් අද වන තුරුත් ඇත්තේ ඔවුන්ගේ පාලනය යටතේයි.

ත්‍රස්තවාදීන් විසින් පුපුරුවා හැරි පැල්මයිරාවේ ඉපැරණි සිද්ධස්ථානයක්/RT.There had been earlier reports of an explosion at the Temple of Bel in Palmyra, which is held by militants from the Islamic State (IS) group. Syria's antiquities chief had earlier said the basic structure of the 2,000-year-old site was intact. But UN satellite analysts Unosat say the image shows almost nothing remains.

ත්‍රස්තවාදීන් විසින් පුපුරුවා හැරි පැල්මයිරාවේ ඉපැරණි සිද්ධස්ථානයක්/RT.

සිරියාවේ රඛා, ඉරාකයේ මොසූල් වැනි නගර අත්පත් කරගැනීමෙන් පසු අයිසිස් සංවිධානය තමන්ගේ සන්නාමය (brand) නැවත වරක් නව්‍යකරණය කිරීමට පියවර ගත්තා. ඒ ඉස්ලාමික අධිරාජ්‍යයක් (caliphate) ලෙසයි. එයින් නොනැවතුණ ඔවුන් ලෝකයේ සිව්දෙස වෙසෙන ඉස්ලාම් ජනතාවට ඔවුන් පවසන ඒ අධිරාජ්‍යය ගොඩනැගීම වෙනුවෙන් එක්වන්න යැයි ආරාධනා කර සිටියා. ඔවුන් විසින් මැවූ ඒ සිහිනය සැබෑ කරගැනීමට දහස් සංඛ්‍යාත විදේශිකයන් පිරිසක් තමන් පදිංචිව සිටි රටවලින් සිරියාව සහ ඉරාකයට පලා ආවා.

එතැනින් පසුව ලෝකයේ සිදුවූවේ කුමක්ද යන්න පිළිබඳ ඔබට අවබෝධයක් ඇතැයි අපි විශ්වාස කරනවා. එමනිසා ලෝකයට එතරම් බලපෑමක් කිරීමට තරම් අයිසිස් සංවිධානය බලවත් වූවේ කෙසේද යන්න ගැන අවධානය යොමු කිරීම වැදගත්.

බලවත් වීම

රඛා නගරයේ පැවති අයිසිස් රැලියක්/Fort Russ.

රඛා නගරයේ පැවති අයිසිස් රැලියක්/Fort Russ.

ඉරාකය සහ සිරියාව පාලනය කළ ෂියා-අලයියා පිරිස්වලින් සමන්විතවූ ආණ්ඩු කෙරෙහි බහුතර සුන්නි මුස්ලිම්වරුන් තුළ තිබුණේ නොසතුටක්. එම ආණ්ඩු තමන්ව පාගා දමා ඇති බව ඔවුන්ගේ විශ්වාසය වුණා. ඒ වගේම මෙම රාජ්‍යයන් දෙකෙහිම ඒ වනවිට පැවති අනාරක්ෂිත බව සහ සිරියානු ජනාධිපති අසාද්ගේ ඒකාධිපති පාලනය හේතුවෙන් ජනතාව තුල ඇතිවෙමින් තිබුණු කෝපය ආදී සියල්ලෙන්ම ප්‍රයෝජන ගන්නට අයිසිස් සංවිධානයට  හැකිවුණා.

එමෙන්ම, ඇමරිකානු ආක්‍රමණය නිසා කෝපයට පත්ව සිටි සදාම් හුසේන් රජයේ උසස් හමුදා නිලධාරීන් අයිසිස් සංවිධානයට සහය දැක්වූවා. මෙම නිලධාරීන් ජිහාඩ්වරුන්ට සහය නොදුන් අය වූවත් එවකට ඇතිව තිබූ තත්වය අනුව අයිසිස් සමඟ එක්ව කටයුතු කිරීමට පෙළඹුනා.

සිරියානු සිවිල් යුද්ධයේදී ජනාධිපති අසාද් කෙරෙහි නොරිස්සුමෙන් සිටි ඇමරිකානු පාර්ශවය (ඇමරිකාව, කටාර්, සෞදි අරාබිය සහ තුර්කිය) කැරලිකරුවන් වෙත මුදල් හා අවි ආයුධ ලබා දුන් බව ප්‍රකට කරුණක්. ඒවායින් බොහොමයක් අවසානයේදී නතර වූවේ අයිසිස් සංවිධානය ලඟයි.

තවද, ඇමරිකාව ඉරාකයෙන් සිය හමුදා ඉවත් කර ගත් පසු ඉතිරිවූ ඉරාක හමුදාව සතුව නවීන පන්නයේ අවි ආයුධ ඉතා විශාල ප්‍රමාණයක් තිබුණත් ඒ තුළ තිබුනේ දැඩි අසංවිධානාත්මක බවක්. හමුදා පාලන තන්ත්‍රය ඉතා දූෂිත එකක්ද වූවා. මේ හේතුවෙන් එම අවි ආයුධවලින් විශාල ප්‍රමාණයක් තමන් සතු කරගැනීමට අයිසිස් සංවිධානයට හැකියාව ලැබුණා.

සංවිධානාත්මක අපරාධයන්ගේ යෙදීම (ඇමරිකානු මාෆියා කල්ලි මෙන්), ජනතාවගෙන් බදු සහ දඩ අය කිරීම වැනි ක්‍රියාමාර්ගවලින් මෙන්ම නීති විරෝධී ලෙස බොර තෙල් විකිණීමෙන්ද අති විශාල මුදල් සම්භාරයක් ඉපයීමට මෙම ත්‍රස්ත සංවිධානය සමත්වුණා.

අද අප දකින බිහිසුණු සහ ප්‍රබල සංවිධානය ගොඩ නගා ගැනීමට මෙම ත්‍රස්තවාදීන් අඩිතාලම දැමුවේ එසේයි.

අයිසිස් සහ සමාජජාල

මෙය ලිපි ගණනාවකින් කතා කළ හැකි තරමේ විශාල මාතෘකාවක් වුවත් ඒ පිළිබඳ කෙටි සටහනක් නොතැබුවහොත් මෙම ලිපිය සම්පූර්ණ වන්නේ නැහැ.

අයිසිස් සාමාජිකයන් විසින් නිකුත් කළා යැයි සැලකිය හැකි ට්විටර් පණිවුඩයක්/Daily Mail.

අයිසිස් සාමාජිකයන් විසින් නිකුත් කළා යැයි සැලකිය හැකි ට්විටර් පණිවුඩයක්/Daily Mail.

සංවිධානයට කාඩර්වරුන් ආකර්ෂණය කර ගැනීමට අයිසිස් මූලික වශයෙන්ම භාවිතා කරනු ලැබුවේ සමාජජාලයි. විශේෂයෙන්ම ඉරාකයෙන් සහ සිරියාවෙන් පිටත සිටින තරුණ තරුණියන් වෙත තම ප්‍රොපගැන්ඩාවන් රැගෙන යාමට සැකසූ ඉතාම සූක්ෂම සමාජජාල භාවිතයක් ඔවුන් සතුව තිබුණා.

එමඟින් ඔවුන් මුහම්මද් තුමාගේ කාලයේ තිබූවාක් වැනි පූර්ණ ඉස්ලාමික රාජ්‍යයක් පිලිබඳ සිහිනයක් මැව්වා. ඒ සිහිනය වෙත දැඩි ලෙස ප්‍රේම කරන්නට ලොව පුරා වෙසෙන තරුණ තරුණියන් පෙළඹවූවා. අනුකම්පා දැනවෙන අයුරින් පිළියෙළ කළ අන්තර්ජාල සටහන්, ඉතා සුපැහැදිලි ප්‍රොපගැන්ඩා වීඩියෝ ආදියෙන් බටහිර පන්නයට හැදී වැඩුණු ලාබාල තරුණ තරුණියන් තමන් වෙත ආකර්ෂණය කර ගන්නට අයිසිස් සංවිධානයට හැකියාව ලැබුණා. ඔවුන්ගෙන් විශාල පිරිසක් අයිසිස් හා එක්ව සටන් වදින්නට ඉරාකය හා සිරියාව වෙත පලා ගිය අතර ඇතැමෙක් තමන් පදිංචි රටවලම සිට අයිසිස් න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්නට උත්සාහ දරනවා දැකගන්නට පුළුවන්.

වත්මන් තත්වය

පැරිස් නුවරට එල්ල වූ නීස් ප්‍රහාරය/NY Daily News.

පැරිස් නුවරට එල්ල වූ නීස් ප්‍රහාරය/NY Daily News.

මේ වනවිට ලෝකයේ රටවල් 12කට ආසන්න ප්‍රමාණයක් අයිසිස් සංවිධානය හා සටන් වදිනවා. මේවායෙන් ඉරානය, සිරියාව සහ ඉරාකය ත්‍රස්තවාදීන් හා භූමියේ සටන් වදින අතර අනෙකුත් රටවල් ගුවන් ප්‍රහාර එල්ල කිරීම මගින් ඒ සටන්වලට සහයෝගය දක්වනවා.

අයිසිස් සංවිධානය දැන් පෙරට වඩා දුර්වලව ඇතැයි ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මෑතකදී පවසා සිටියත් සිරියාවේ හා ඉරාකයේ ප්‍රදේශ ගණනාවක් ඔවුන් සතුව පැවතීමත් ඔවුන් විසින් ලෝකයේ විවිධ ප්‍රදේශවලට එල්ල කෙරෙන ත්‍රස්ත ප්‍රහාර නිසාත් අනතුර තවමත් පහව නොමැති බව කිවහැකියි. විශේෂයෙන්ම මැදපෙරදිග යුධමය වාතාවරණය නිසා මෙම ත්‍රස්තවාදීන් ආසියාවට සංක්‍රමණය වීමේ දැඩි අවදානමක් පවතින බව ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයන් පවසා සිටිනවා.

අයිසිස් ඉලක්කවලට එල්ල වෙන ඇමරිකානු ගුවන් ප්‍රහාර/CNN.

අයිසිස් ඉලක්කවලට එල්ල වෙන ඇමරිකානු ගුවන් ප්‍රහාර/CNN.

මේ සියල්ල අතරේ මැදපෙරදිග අයිසිස් ග්‍රහණයෙන් මිදී පලායන ජනතාව යුරෝපානු රටවලට ඇතුළු වීම නිසා දැඩි අර්බුදයකට මුහුණ දීමට යුරෝපා රටවලට සිදුව තිබෙනවා. ජාත්‍යන්තර නීති රීතිවලට අනුව එසේ පැමිණෙන ජනතාව ප්‍රතික්ෂේප කිරීමට නොහැකි නමුත් එම ජනතාවට මුවාවී පැමිණෙන ආගමික අන්තවාදීන් බටහිර රටවල ජන ජීවිතය අඩාල කිරීමට ක්‍රියා කිරීමත් එම රටවලට දැඩි හිසරදයක්ව තිබෙනවා.

දිනෙක අයිසිස් සංවිධානය අවියෙන් පරාජය කිරීමට හැකියාව ලැබුණත් ඔවුන් විසින් පතුරා ඇති මතවාදය සහ දර්ශනය පරාජය කිරීමට ලෝකය සමත් නොවෙන තාක් කල් මෙම ගැටළුව නොනැසී පවතිනු ඇති.

කවරයේ පින්තුරය: Sputnik News

මූලාශ්‍ර – The Week, Quora, BBC, RT, Al Jazeera ඇතුළු අන්තර්ජාතික මාධ්‍ය වාර්තා

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

Comments