ප්‍රවෘත්ති සහ වාර්ථාමය

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම් නොතකා ඉදිරියට ඇදෙන උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන

Published

Search Icon Search Icon Search Icon Search Icon

උතුරු කොරියාව තවත් බැලිස්ටික් මිසයිල අත්හදා බැලීමක් සාර්ථක වූ බව ප්‍රකාශ කිරීමත් සමඟ නැගෙනහිර ආසියාවේ දේශපාලන තත්වය යළිත් උණුසුම් වුනා.

මෙම බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම පිළිබඳ මුලින්ම මාධ්‍ය වාර්තා පළ වූයේ පෙබරවාරි 12 වන දා. ඉන් දිනකට පසු උතුරු කොරියානු පුවත් සේවය විසින් එම වාර්තා ස්ථිර කෙරුණා.

ගොඩබිම සිට ගොඩබිමට එල්ල කෙරෙන (surface-to-surface) පුක්ගුක්සොන්ග් – 2 (Pukguksong – 2) නම් මෙම බැලිස්ටික් මිසයිලය දියත් කරන ලද්දේ එරට වේලාවෙන් පෙබරවාරි 12 වනදා උදෑසන 7.55 ටයි. මෙම මිසයිල අත්හදා බැලීම ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු උතුරු කොරියාව විසින් කෙරුණ පළමු අත්හදා බැලීම වීම විශේෂත්වයක්.

උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීමක් (AFP/KCNA)

එමෙන්ම මෙම අත්හදා බැලීම සිදු කෙරුණේ ඇමරිකාවේ නව ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස්ගේ දකුණු කොරියානු සංචාරයෙන් දින කිහිපයකට පසුවයි.

සිය සංචාරය අතරතුර මැටිස් උතුරු කොරියානු රජයට අනතුරු ඇඟවීමක් ද කළා. ඔහු සඳහන් කළේ උතුරු කොරියාව විසින් යම් කිසි න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළහොත් ඊට ඇමරිකාව විසින් සුදුසු ආකාරයෙන් ප්‍රතිචාර දක්වනු ඇති බවයි.

මේ අතරම, උතුරු කොරියානු බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම සිදු කෙරුණේ ජපන් අගමැති ෂින්සෝ අබේ ඇමරිකාවේ සංචාරයක යෙදෙන අතරතුර යි. එම සංචාරය අතරතුර අබේ ධවල මන්දිරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ද මුණ ගැසුණා. මෙම හමුවේදී ට්‍රම්ප් ජපානය සමඟ කිට්ටු සබහ්ඳතා පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව පැහැදිලි වුණා.

චීනය සමඟ ඇති කරගත් යම් යම් මත ගැටුම් ද හමුවේ, ජපානය සහ දකුණු කොරියාව සමඟ කිට්ටු සබඳතා ගොඩ නගා ගැනීම ට්‍රම්ප්ට වැදගත් කරුණක් වී තිබෙනවා.

උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවෙල

උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩ පිළිවෙලට දිගු ඉතිහාසයක් තිබෙනවා. එරට පළමු මෙන්ම ප්‍රධානම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය වන යොන්ග්බියොන් (Yongbyon) න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයේ වැඩ ආරම්භ වූයේ 1980 දී. එය 1986 දී අවධි (critical) තත්ත්වයට පත් වුණා. කෙසේ වෙතත් එකළ උතුරු කොරියාව ප්‍රකාශ කළේ තම න්‍යෂ්ටික වැඩපිළිවෙල සාමකාමී කටයුතු සඳහා පමණක් යොදවන බවයි. ඒ බව සනාථ කිරීමට ඔවුන් 1985 දෙසැම්බර් 12 වනදා න්‍යෂ්ටික අවිහරණ ගිවිසුමට (Nuclear Non-proliferation Treaty – NPT) ද පාර්ශවකරුවකු වුණා.

1992 අප්‍රේල් 9 වනදා උතුරු කොරියාව විසින් අන්තර්ජාතික න්‍යෂ්ටික බලශක්ති අධිකාරිය සමඟ එකඟතාවයක් ද සම්මත කරගනු ලැබුණා.

මැටිස් දකුණු කොරියාවේදී (Reuters)

කෙසේ නමුත් 2003 ජනවාරි 10 වනදා උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණ ගිවිසුමෙන් ඉවත් වූ අතර 2005 පෙබරවාරි 10 වනදා තමන් සතුව න්‍යෂ්ටික අවි ඇති බවට මුල් වතාවට ප්‍රකාශ කළා.

2006 ඔක්තෝබර් 9 වනදා උතුරු කොරියාව පළමු වරට පොළව යට න්‍යෂ්ටික අත් හදා බැලීමක් සිදු කළා. ඉන් වසර දෙකහමාරකට පසු 2009 මැයි 25 වනදා දෙවැනි වරට එවන් අත්හදාබැලීමක් කළ ඔවුන් 2013 පෙබරවාරි 12 වනදා තෙවැනි පොළව යට න්‍යෂ්ටික අත්හදා බැලීම ද සිදු කළා.

2016 ජනවාරි 6 වනදා උතුරු කොරියාව නැවත වරක් පොළව යට න්‍යෂ්ටික පිපිරීමක් කළ අතර ඔවුන් කියා සිටියේ එය හයිඩ්‍රජන් බෝම්බයක් වූ බවයි. නමුත් මෙම ප්‍රකාශය සනාථ කළ හැකි ක්‍රමයක් තිබුණේ නැහැ. එම වසරේම සැප්තැම්බර් 9 වනදා ඔවුන් පස්වැනි වරටත් පොළව යට න්‍යෂ්ටික පිපිරීමක් සිදු කළා.

උතුරු කොරියාවේ බැලස්ටික් මිසයිල අත්හදා බැලීම් කලාපීය රටවලට විශාල තර්ජනයක් ලෙස සැළකෙන්නේ ඔවුන් සතුව න්‍යෂ්ටික අවි තිබෙන හෙයින්. න්‍යෂ්ටික යුධ හිසක් (nuclear war head) සහිත මිසයිලයක් කලාපීය රටක් වෙත යොමු කිරීමේ හැකියාව ඔවුන් සතුව තිබෙනවා.

නමුත් යම් ආකාරයකින් එවන් ප්‍රහාරයක් කරා උතුරු කොරියාව ගියහොත් එහි ප්‍රතිවිපාක දරුණු විය හැකියි.

උතුරු කොරියානුවන්ගේ අරමුණ

1950 – 53 සමයේ කොරියානු යුද්ධය පැවති සමයේ පටන්ම කොරියාවේ පවතින්නේ නොවිසඳුණ ගැටලුවක්. කොමියුනිස්ට් උතුරු කොරියාව සහ ධනවාදී දකුණු කොරියාව අතර පවතින මෙම අර්බුදය නිරවි යුද්දයේ ප්‍රධාන අර්බුදවලින් අදටත් නොවිසඳුණ එකම ගැටලුව ලෙස කිව හැකියි (කියුබාව සහ ඇමරිකාව අතර සබඳතා යළි අලුත් වූ බැවින්).

උතුරු කොරියාව සෝවියට් කඳවුරට අයත් වුවද තනිකරම සෝවියට් දේශය හෝ චීනය හෝ මත යැපීමට ඔවුන් සූදානම් වූයේ නැහැ. එහෙයින් ඔවුන් තමන්ටම අයත් න්‍යෂ්ටික වැඩ පිළිවෙලක් කරා ගිය බව පැහැදිලියි.

කිම් ජොන්ග් – උන් මිසයිල අත්හදා බැලීම නිරීක් ෂණය කරමින් (Reuters)

ඇතැම් විචාරකයන්ට අනුව උතුරු කොරියාව මෙසේ න්‍යෂ්ටික අවි අත්හදා බලමින් ලෝකයට මතක් කර දෙන්නේ තමන් සුලු කොට තැකිය නොයුතු බවයි.

මේ පිළිබඳ උතුරු කොරියාවේ හිටපු නායක කිම් ඉල් – සුන්ග් සඳහන් කර තිබෙනවා. ඔහු පවසා තිබෙන්නේ න්‍යෂ්ටික අවි නොමැති නම් ලෝක බලවතුන්ට උතුරු කොරියාව ගණන් ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

ජර්මනියේ ඩොයිෂ වෙල්ලෙ මාධ්‍ය ආයතනයේ ඇලෙක්සැන්ඩර් ෆ්‍රොයින්ඩ් සඳහන් කරන්නේ මෙම ක්‍රියාවලිය දැන් වාර්ෂික සිරිතක් බවට පත්ව ඇති බවයි. උතුරු කොරියාව කුමක් හෝ අත්හදා බැලීමක් කරන අතර එරට ජනතාව ප්‍රීති ඝෝෂාකරන අයුරු මාධ්‍ය මගින් පෙන්වනවා. දකුණු කොරියාව සහ ජපානය බරපතල ලෙස විරෝධතාව දක්වා එක්සත් ජාතීන්ට පැමිණිලි කරන අතර , ඉන් පසු නැවතත් සම්බාධක කරනු ලබනවා.

උතුරු කොරියාවට මේ වනවිට පනවා ඇති සම්බාධක සමඟ නව සම්බාධක පැණවීම මගින් සිදුවන අමුතු දෙයක් නැහැ . මේ හේතුව නිසා උතුරු කොරියානු රජය ද බියක් සැකක් නොමැතිව මෙම අත්හදා බැලීමේ දේශපාලනය සිදු කරන බව ෆ්‍රොයින්ඩ් පවසනවා.

මෙම අවස්ථාවේදී ට්‍රම්ප් රජය දකුණු කොරියාවට සහ ජපානයට සහය දක්වන අතරම , එම රටවල්වලට තම ආරක්ෂාව පිළිබඳ වැඩි වගකීමක් ගැනීමට පොළඹන බවයි ෆ්‍රොයින්ඩ් ප්‍රකාශ කරන්නේ. මේ වනවිටත් දකුණු කොරියාවෙහි ඇමරිකාවේ නිෂ්පාදිත මිසයිල ස්ථානගත කර තිබෙනවා. මේ අතර ජපානයට පූර්ණ සහය දැක්වීමෙන් කියැවෙන්නේ ෂින්සෝ අබේ විසින් සිදු කරන්නට බලාපොරොත්තු වන ව්‍යවස්ථාමය වෙනස්කම් සඳහා ද සහය දැක්වීම බව ෆ්‍රොයින්ඩ් තර්ක කරනවා.

න්‍යෂ්ටික යුද්ධයක්

මේ අතර දකුණු කොරියාවේ හිටපු ඇමරිකානු තානාපතිවරයකු වූ ක්‍රිස්ටෝපර් හිල් ඩොයිෂ වෙල්ලෙ සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ උතුරු කොරියාව න්‍යෂ්ටික අවියක් නිපදවුවහොත් එරටට එරෙහිව හමුදාමය මැදිහත්වීමක් සිදු කළ යුතු බව යි.

මේ අතර ඇමරිකාව සහ චීනය අතර වර්ධනය වී ඇති තරඟකාරීත්වය උතුරු කොරියාව විසින් සිය වාසියට හරවාගනිමින් සිටින බව ඇලෙක්සැන්ඩර් ෆ්‍රොයින්ඩ් පවසනවා. චීනය උතුරු කොරියානු පාලනය සමඟ අතිශයින් ප්‍රබල ඇයි හොඳයියක් නැති වුවත් උතුරු කොරියානු පාලනය ආරක්ෂා කිරීම ඔවුනට වැදගත් වනවා. උතුරු කොරියානු පාලනය බිඳ වැටුණහොත් ඇමරිකානු හමුදා ආරක්ෂාව ද ලබන පාලනයක් සමස්ථ කොරියාවේම බිහි වීම කෙරෙහි චීනය අකමැති වීම මීට හේතුවයි.

පසුගිය දිනවල චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර යම් විරසකයන් ඇති වූ නමුත් මේ වනවිට ඔවුන් ඒවා යම්තාක් දුරට සමනය කරගනිමින් සිටිනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී චීන ජනපති ෂී ජින්පිං අමතා “එක චීනයක්” ප්‍රතිපත්තිය තමන් පිළිගන්නා බව ප්‍රකාශ කිරීම වැදගත් සිදුවීමක් වුණා.

විචාරකයින් සඳහන් කරන්නේ ඇමරිකාව, චීනය සහ කලාපීය බලවතුන් එක්ව ගන්නා ක්‍රියාමාර්ගයකින් පමණක් උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙලින් එන තර්ජනය පිටු දැකිය හැකි වනු ඇති බවයි.

මූලාශ්‍ර : North Korea confirms ‘successful’ ballistic missile test, DW, North Korea: The Paranoid Peninsula: A Modern History (Zed Books, 2005), Ex-US Ambassador to South Korea: Conflict with North Korea has to be on the table, DW, Alexander Freund, Opinion: North Korea is testing missiles – and US limits, DW, North Korea missile test: US allies discuss steps, BBC, Trump planning show of force on Korean Peninsula, DW

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්