එදිනෙදා සිරිලක

නීරෝගී කම සහ සෞභාග්‍යය වෙනුවෙන් “ස්කන්ධ ශස්ති”

Published

Search Icon Search Icon Search Icon Search Icon
Sinhala Translation Button English Translation Button

සුවඳවත් මල් මාලා ගණනාවකින් සරසපු දේව පිළිම වෙනුවෙන් සිදු කරන සුවිශේෂී පූජා උපහාර කෝවිලේ ප්‍රධාන පූජකතුමාගේ නායකත්වයෙන් පැවැත්වෙනවා. වෛවර්ණ විසිතුරු සැරසිලි වලින් පිරුණු අලංකාරවත් කෝවිලේ බිත්ති අතරේ “මීලම්” සහ “නතාස්වරම්” වල හඬ දෝංකාර දෙනවා. අනුහස් පිරුණු දෙවිවරුන් එක්ක ආධ්‍යාත්මික බැඳීමක් ගොඩනගා ගන්න හින්දු බැතිමතුන් දහස් ගණනින් කෝවිල් කරා ඇදෙනවා. අපි මේ කියන්න යන්නේ හින්දු භක්තිකයන්ගේ වැදගත්ම උත්සවයක් ගැනයි. මීට සති කිහිපයකට කලින් පැවැත්වුණු මේ උත්සවය “ස්කන්ධ ශස්ති” කියලයි හැඳින්වෙන්නේ.

අපි කවුරුත් දන්නා දීපවාලි සහ තයි පොංගල් වගේම වැදගත්කමක් දරන “ස්කන්ධ ශස්ති” ගැන හින්දු නොවන වැඩි දෙනෙක්ට අවබෝධයක් නැහැ. ඒ නිසා මෑතකදී පැවැත්වුණු ඒ උත්සවය වෙනුවෙන් ලියැවුණු වටිනා ලිපියක් මේ විදිහට සිංහලෙනුත් පළ කරන්න අපි තීරණය කළා.

බම්බලපිටියේ කදිරේසන් කෝවිලේ පිහිටි මුරුගන් දෙවියන් වෙනුවෙන් කැප වුණු දේවාලයක්.

බම්බලපිටියේ කදිරේසන් කෝවිලේ පිහිටි මුරුගන් දෙවියන් වෙනුවෙන් කැප වුණු දේවාලයක්.

“ස්කන්ධ ශස්ති”, නැතිනම් “කන්ද ශස්ති විරාත්‍රම්” උත්සවයේදී අවුරුද්දට එක පාරක් දින හයක් පුරාවට පැවැත්වෙන උපවාසයකට හින්දු බැතිමතුන් සහභාගී වෙනවා. මේ උත්සවය පවත්වන්නේ “මුරුගන්” දෙවියන් වෙනුවෙන්. මේ මුරුගන් දෙවියන් කියන්නේ බොහෝ දෙනෙක් දන්නා කතරගම දෙවියන්ටමයි. හින්දු බැතිමතුන් මෙතුමාව කදිරේසන්, ස්කන්ධ, කුමාරන්, ස්වාමිනාදන් සහ සුභ්‍රමන්‍ය ඇතුළු ගරු නාම ගණනාවකින් හඳුන්වනවා.

හින්දු විශ්වාසයට අනුව මුරුගන් දෙවියන්ව පහළ වෙලා තියෙන්නේ ශිව දෙවියන්ගේ තුන් වැනි ඇසෙන්. ශිව දෙවියන්ගේ තුන් වැනි ඇස උසස් සවිඥානක ශක්තිය සංකේතවත් කරන නිසා මුරුගන් දෙවියන් මනා සිහියෙන් පරිපූර්ණයි. මේ නිසා එතුමන්ට පුද පූජා පැවැත්වීම අපගේ මනා සිහිය වැඩි දියුණු කරගන්නට හේතු වෙන අධ්‍යාත්මික ශක්තිය ලබා දෙන බවට සැලකෙනවා.

“කන්ද ශස්ති විරාත්‍රම්” කියන්නේ මොකක්ද?

බම්බලපිටිය කදිරේසන් කෝවිලේ උදෑසන විශේෂ පූජාවට එක්වුණු බැතිමතුන්.

බම්බලපිටිය කදිරේසන් කෝවිලේ උදෑසන විශේෂ පූජාවට එක්වුණු බැතිමතුන්.

ස්කන්ධ ශස්ති වෙනුවෙන් සිදු කෙරෙන උපවාසය ආරම්භ වෙන්නේ අලුත් සඳ උදා වෙන පළමු දිනයේ ඉඳලයි. මේ නිසා බොහෝ විට මේ දවස දීපවාලී උත්සවයට පස්සේ දිනයේ තමයි උදා වෙන්නේ. 2016 අවුරුද්දේ මේ “විරාත්‍රම්” එක, නැතිනම් උපවාසය ආරම්භ වුණේ ඔක්තෝබර් 31 වැනිදා. නොවැම්බර් 5 වැනිදාට යෙදුණු “සූරසම්හරම්” එකෙන් උපවාසය අවසන් කෙරුණා. මුරුගන් දෙවියන් විසින් “සූරපද්මන්” පරාජය කිරීම “සූරසම්හරම්” මගින් සිහි කෙරෙනවා.

“විරාත්‍රම්” කියන සංස්කෘත වචනයේ තේරුම “පොරොන්දුව” වගේ අදහසක්. ඒ අනුව උපවාසයේ යෙදීම මගින් ශරීරයට දුක දැනෙන්නට ඉඩ හැරීමත්, ඒ කෙරෙහි ඇති කැපවීම ප්‍රකට කිරීමත් මෙහිදී සිදු කෙරෙනවා. ඒ වගේම වන්දනාවේ යෙදීම මගින් සිත පිරිසිදු කර ගැනීමත්, ආචාර ධර්ම වලින් සපිරි ජීවිතයක් ගත කිරීම මගින් මනා සෞඛ්‍යය සහ සතුට ළඟා කර ගැනීමත් මෙමගින් බලාපොරොත්තු වෙනවා.

ස්කන්ධ දෙවියන් මේ ලෝකයට පහළ වුණේ “දේව” ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහායි. ඒ කාලයේ ලෝකය පුරාවට ප්‍රශ්න ඇති කරපු යක්ෂයන් විනාශ කරලා දේව ජනයා බේරා ගැනීම එතුමාගේ ප්‍රධාන කාර්යය විදිහට සැලකුණා. මුරුගන් දෙවියන් තමයි දේව සේනාවේ ප්‍රධානියා බවට පත් වුණේ. ස්කන්ධ දෙවියන් තමන් එක්ක සටනට ආපු සූරපද්මන් කියන යක්ෂ නායකයා එක්ක දින හයක් පුරාවට යුධ වැදිලා ඔහුව පරාජය කරන්න සමත් වුණා. මේ ජයග්‍රහණය සමරන “සූරන් පූර්” උත්සවය පැවැත්වෙන්නේ ස්කන්ධ ශස්ති උපවාසයේ හය වැනි දිනයේ හවස් වරුවේ. ඒ සඳහා කෝවිල් භූමිය සටන් බිමක් නිරූපණය වෙන විදිහට සරසනවා. දේවාලය ඇතුලේ තියෙන මුරුගන් දෙවියන්ගේ පිළිම එළිමහනට ගෙනැවිත් මේ සටන් භූමියේ තැන්පත් කෙරෙන්නේ සූරපද්මන් එක්ක තිබුණු යුද්ධය නිරූපණය කෙරෙන විදිහටයි.

ස්කන්ධ ශස්ති උත්සවය ශ්‍රී ලංකාව, දකුණු ඉන්දියාව වගේම මැලේසියාව සහ සිංගප්පූරුව වගේ රටවල් වලත් උත්කර්ෂවත්ව පැවැත්වෙනවා. නල්ලූර් කන්දසාමි කෝවිල, සෙල්වා සන්නිති මුරුගන් දේවාලය, කතරගම මුරුගන් දේවාලය සහ මේ රූප වලින් පෙන්නුම් කෙරෙන බම්බලපිටියේ කදිරේසන් කෝවිලත් ශ්‍රී ලංකාව තුල ස්කන්ධ ශස්ති පැවැත්වෙන ජනප්‍රියම තැන් විදිහට හඳුන්වන්න පුළුවන්.

උපවාසය පැවැත්වෙන ආකාරය

කන්ද ශස්ති විරාත්‍රම් අතරතුර දේවාලයට කන්නලවු කරන බැතිමතෙක්.

කන්ද ශස්ති විරාත්‍රම් අතරතුර දේවාලයට කන්නලවු කරන බැතිමතෙක්.

මේ උපවාසය ක්‍රියාත්මක කෙරෙන්නේ දැඩි රාමුවකට යටත්ව නම් නෙවෙයි. නමුත් උපවාසයට අදාළව කවුරුත් අනුගමනය කරන්න අවශ්‍ය නීති කිහිපයක් තියෙනවා.

කන්ද ශස්ති විරාත්‍රම් එක මුල් වරට ආරම්භ කරාට පස්සේ අවුරුදු හයක් හෝ දොළහක් පුරාවට හැම අවුරුද්දකදීම නොකඩවා පවත්වන්න අවශ්‍යයි. මේ දින හය තුලදී මස් මාංශ වර්ග ආහාරයට ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්. විවිධ බැතිමතුන් මේ උපවාසය විවිධ මට්ටම් වලින් සිදු කරනවා. සමහරු මේ දින හය තුලදී දවසකට ගන්නේ එක ආහාර වේලක් විතරයි. සමහරු තමන්ගේ කෑම පලතුරු සහ කිරි වලට පමණක් සීමා කරනවා. සමහර බැතිමතුන් මේ දවස් හය පුරාවටම ජලය සහ පොල් වතුර පමණක් ආහාර විදිහට ගන්න අවස්ථා පවා දකින්න පුළුවන්.

බැතිමතුන්ගේ අදහස්

කදිරේසන් කෝවිලේ ප්‍රධාන පිවිසුම් දොරටුව උපවාස කාලය සැමරීම වෙනුවෙන් ආලෝකමත් වෙනවා.

කදිරේසන් කෝවිලේ ප්‍රධාන පිවිසුම් දොරටුව උපවාස කාලය සැමරීම වෙනුවෙන් ආලෝකමත් වෙනවා.

වයස අවුරුදු 62ක් වන සරස්වතී මහත්මිය මේ කන්ද ශස්ති විරාත්‍රම් එකට වසර 25 කටත් වඩා වැඩි කාලයක් පුරාවට සහභාගී වුණු කෙනෙක්. මුරුගන් දෙවියන්ට කැප වුණු බැතිමතියක් වන ඇයට මේ උත්සවයේ සුවිශේෂ වැදගත් කමක් තියෙනවා. යුද්ධය තිබුණු දවස් වල ඇයට තමන් ජීවත් වුණු යාපනයේ නෙල්ලිඅඩි ප්‍රදේශයෙන් කොළඹට පලා එන්න සිදු වුණා.

1987 අවුරුද්දේ ශ්‍රී ලංකා හමුදාව යාපනය වඩමාරච්චි මෙහෙයුම දියත් කරලා අර්ධද්වීපය නැවත අල්ලා ගත්තාට පස්සේ සරස්වතීගේ සැමියා ඇතුළු තවත් කිහිප දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් විදිහට පැහැර ගෙන තියෙනවා. ඒ ගැන ඇය මතක් කළේ මේ විදිහටයි. “මට ඒ කාලය මතක් වෙද්දීත් බය හිතෙනවා. අපි වගේ සාමාන්‍ය මිනිස්සු බොහෝ දෙනෙක් ගැටුම් වලට මැදි වුණා.” පැහැර ගැනුණු තමන්ගේ සැමියා ආපසු ආවොත් ඇය වතුර පමණක් බොමින් කන්ද ශස්ති විරාත්‍රම් ඉටු කරන බවට භාර වෙලා.

“මගේ සැමියා ආපහු ගෙදර ආපු එක පැහැදිලිවම ප්‍රාතිහාර්යයක් කියලයි මම සලකන්නේ. මේ විදිහට අල්ලාගෙන ගිය වැඩි දෙනාට ආපසු එන්න ලැබුණේ නැහැ. 1988 අවුරුද්දේ ඉඳන් අද වෙනතුරු හැම අවුරුද්දකම කන්ද ශස්ති උපවාසයට මම සහභාගී වෙනවා. භාර වුණු විදිහටම ඒ දවස් හය පුරාවට මම වතුර විතරයි බොන්නේ” බම්බලපිටිය කදිරේසන් කෝවිලේ පඩිපෙළ මත වාඩි වෙලා හිටපු සරස්වතී අපිට කිව්වා. ඇය “කන්ද ශස්ති කවසම්” පොතක් බලමිනුයි හිටියේ. මේක මුරුගන් දෙවියන් වෙනුවෙන් කැප වෙන බව කියවෙන කාව්‍යයක් අඩංගු පොතක්.

ඇය මේ විදිහට කන්ද ශස්ති උපවාසයට කැප වෙලා වසර විස්සකටත් වැඩි කාලයක් යුද්ධය පැවතුණා. නමුත් කිසිම අවුරුද්දකදී ඇය තමන්ගේ භාරය ඔප්පු කිරීම මග හැරියේ නැහැ. මොන තරම් අපහසුවකින් හරි උපවාසට සහභාගී වුණු එක තමන්ගේ ජීවිතය ජය ගන්න හේතු වුණු බව ඇය විශ්වාස කරනවා. හින්දු බැතිමතුන්ගේ අපහසුම චාරිත්‍රයකට ඇය එක් වුණේ පුදුම කැපවීමකින්.

“මම කන්ද ශස්ති ඉටු කිරීම පටන් ගත්තේ බොහොම භයානක කාලයක. ඒ දවස් වල සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න කොහොමවත් බැහැ. නිදහසේ කෑම වේලක් කන්නවත් පුළුවන් කමක් තිබුණේ නැහැ. අපි හැම දාම ජීවත් වුණේ බයකින්. අපිට නිතරම සිදු වුණේ ගුවන් බෝම්බ වලින්, ෂෙල් උණ්ඩ වලින් බේරෙන්න දුවලා හැංගෙන එක.” ඇය තමන්ගේ ජීවිතය බේරා ගත්තු හැටි මතක් කළා.

ඇය තමන්ගේ භාරය ඉටු කරන්න පටන් අරගෙන දැනටත් අවුරුදු 30ක් වෙන්න ආසන්නයි. නමුත් කිසිම හේතුවක් නිසා එකම අවුරුද්දකදීවත් ඇය උපවාසය මග හරින්නේ නම් නැහැ. ජීවත්ව ඉන්න තුරාවටම ඇය හැම අවුරුද්දෙම කන්ද ශස්ති වෙත සහභාගී වෙන්න දැඩි අධිෂ්ඨානයකින් ඉන්නේ.

උපවාසයට සහභාගී වෙන්නේ ඇයි?

වයස 18ක් වුණු දිව්‍යන් සුරේෂ් කියන්නේ තමන් කන්ද ශස්ති උපවාසයට සහභාගී වෙන්නේ පවුලේ සුභ සිද්ධිය වෙනුවෙන් කියලයි.

වයස 18ක් වුණු දිව්‍යන් සුරේෂ් කියන්නේ තමන් කන්ද ශස්ති උපවාසයට සහභාගී වෙන්නේ පවුලේ සුභ සිද්ධිය වෙනුවෙන් කියලයි.

ස්කන්ධ ශස්ති උපවාසයට සහභාගී වෙලා මුරුගන් දෙවියන් වෙනුවෙන් කන්නලව් කරන බැතිමතුන් වෙත මුරුගන් දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුවම ලැබෙන බව විශ්වාස කෙරෙනවා. ඒ වගේම අවසන් දිනයේ පැවැත්වෙන ශස්ති පූජාවේදී පාවිච්චි වෙන කිරි පානය කරන අයට දරුවන් පිළිසිඳ ගැනීමේ ඉහළ හැකියාවක් ලැබෙන බවටත් පැතිරුණු විශ්වාසයක් තියෙනවා.

බම්බලපිටිය කදිරේසන් කෝවිලේ ප්‍රධාන පූජකතුමා වන නාගරාජා කුරුක්කල් මහතාට අනුව දරුවන් ලැබෙන්නේ නැතිව කළකිරිලා හිටපු බොහොමයක් විවාහක ජෝඩුවලට ස්කන්ධ ශස්ති උපවාසයට සහභාගී වීමෙන් පස්සේ දරුවන් පිළිසිඳ ගන්න හැකියාව ලැබිලා තියෙනවා. “මේ ළඟදී උපවාසයට සහභාගී වුණු ජෝඩුවකට නිවුන් දරුවන් ලැබුණා. ඔවුන් විවාහ වෙලා අවුරුදු හයක් පුරාවට දරුවන් නැතිව හිටපු ජෝඩුවක්.” ඔහු කිව්වා.

සාමාන්‍යයෙන් බොහෝ දෙනා අතර තියෙන වැරදි මතයක් තමයි මේ වගේ ආගමික කටයුතු වලට කැපවීමෙන් සහභාගී වෙන්නේ වයසක අය විතරයි කියන එක. නමුත් නිකමට ස්කන්ධ ශස්ති උත්සවයක් තියෙන කෝවිලකට ගිහින් බැලුවොත් ඕනෑ තරම් තරුණ අය මේකට සහභාගී වෙනවා දකින්න ලැබෙනවා. අවුරුදු 18ක පාසල් ශිෂ්‍යයෙක් වන දිව්‍යන් සුරේෂ් ඒ වගේ කෙනෙක්. “ස්කන්ධ ශස්ති කියන්නේ මම හැම අවුරුද්දකම සහභාගී වෙන්න මග බලාගෙන ඉන්න සුවිශේෂී උත්සවයක්.” ඔහු අපිට කිව්වා. තමන්ගේ පවුලේ සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් ඔහු මේ විදිහට කන්ද ශස්ති උපවාසයට සහභාගී වෙන්න පටන් ගත්තේ පසුගිය අවුරුද්දේ ඉඳලයි.

මේ විරාත්‍රම් කියන උපවාසය අපේ ශරීරයේ තියෙන විෂ ද්‍රව්‍ය ඉවත් කරන්න හොඳ අවස්ථාවක් විදිහටත් පිළිගැනෙනවා. ජලය, පොල් වතුර වගේ දේවල් විතරක් කාලයක් පුරාවට ආහාරයට ගත්තාම ශරීරයේ තියෙන අනවශ්‍ය විෂ ද්‍රව්‍ය ඉවත් වෙනවා කියන එකේ විද්‍යාත්මක සත්‍යයක් තියෙන්නත් පුළුවන්.

සූරපද්මන් යක්ෂයා සටනට සූදානම් වෙන ආකාරය දැක්වෙන පිළිරුවක්.

සූරපද්මන් යක්ෂයා සටනට සූදානම් වෙන ආකාරය දැක්වෙන පිළිරුවක්.

ඒ වගේම ශස්ති උපවාසය හින්දු බැතිමතුන් අතර බොහොම පූජනීය උත්සවයක් විදිහට සැලකෙන්න තවත් හේතුවක් තියෙනවා; ඒ තමයි දෙවියන්ගේ මනා සිහිය, නැතිනම් සවිඥානය මගින් අපේ හිත් වල තියෙන සෘණාත්මක සිතිවිලි (යක්ෂයන්ට සුදුසු සිතිවිලි) පරාජය කෙරෙන බව මෙයින් සංකේතවත් වෙන එක. ඒ තුලින් අලුත් අවස්ථා ලඟා කර ගන්නත්, ඇති වන බාධක වලින් නොසැලී සාර්ථකත්වයට ගමන් කිරීමටත් පෙළඹවීමක් ලැබෙන බව හිතන්න පුළුවන්.

ශ්‍රී ලාංකිකයන්ට පසු ගිය දශක කිහිපය තුලදී නොහිතන අත්දැකීම් බොහොමයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම යුද්ධය තිබුණු කාලයේ මේ තත්වය විශාල විදිහට බලපෑවා. ශ්‍රී ලංකාවේ ජීවත් වන හැම දෙනෙක්ම ඒ වගේ අවස්ථා වලදී පිහිටක් ප්‍රාර්ථනා කළේ තමන් අදහන ආගම ධර්මයෙන්. හින්දු ජනතාව තමන්ටත්, තමන්ගේ පවුල් වලටත් මුහුණ දෙන්න සිදු වුණු අභියෝග වලදී ආධ්‍යාත්මික ශක්තිය ලබා ගන්න මේ වගේ ආගමානුකූල උපවාසයන් වලට සහභාගී වීම ප්‍රධාන කොට සැලකුවා. ඒ තුලින් ලබා ගත්තු මානසික සහනය නිසා තමයි ඔවුන් අදටත් බලාපොරොත්තු සහගතව ජීවත් වෙන්නේ.

සියලුම ඡායාරූප මෙම ලිපියේ මුල් රචක මිතුල ගුගනේෂන් වෙතිනි.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ 

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

Comments