චාරිකා

වනගත මානාකන්ද ආරණ්‍යය

Published

Search Icon Search Icon Search Icon Search Icon

මරදන්කඩවලට නුදුරින් පිහිටි අපූරු වනගත නටබුන් ආරණ්‍යයක් ගැනයි, මේ ඔබට කියන්නට යන්නේ. ඔබ අතරින් සමහරු රිටිගලට ගිහින් ඇති. තවත් අය කුරුණෑගල අරන්කැලේට  ගිහින් ඇති. ඒත් රිටිගලට කි. මී. 7ක් පමණ සමීපව පිහිටි එයට සමාන මානාකන්දට ගිහින් ඇත්තේ කලාතුරකින් කෙනෙක් පමණයි නේද?

එයට හේතුව හුගදෙනෙක් ඒ ස්ථානය ගැන නොදැන සිටීමයි. මරදන්කඩවල නගරයෙන් වමට හැරුණූ විට මානාකන්දට මගපෙන්වන පුරාවිද්‍යා නාම පුවරුව දකින්න පුලුවන්. එම මාර්ගයේ ගොස් හබඩියගම ගම්මානය අසලින් හැරී තවත් ගුරු පාරක කි. මී. භාගයක් පමණ ඔබ ගමන් කළ යුතුයි. නෙලුම් මල් පිපුණු ගම්වැව් අතරින් ගමන් ගන්නා මාර්ගය මානාකන්ද පාමුලට ගොස් නතර වෙනවා. සමහරවිට මේ වැව්වල මසුන් අල්ලන, ස්නානය කරන ගැමියන් ඔබට දකින්න ලැබේවි. මාර්ගය සොයාගැනීමට අපහසු වුවහොත් ගැමියෙක්ගෙන් අසා නිවැරදි කරගන්නත් පුලුවන්.

මානාකන්දට යන අතරමග.

අතරමග වැව්.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි  මානාකන්ද පුරාණ බෙදීම්වලට අනුව අයත් වන්නේ කලාගම් පළාතේ මාමිනියා කෝරළේටයි.  

මානාකන්ද පුරාවිද්‍යා ස්ථානය පාලුවේ ගිලී තිබෙන්නේ වනසතුන්ගේ අභයබිමක් බවට පත්වෙමින්. කන්ද පාමුලට පැමිණි අපට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කළ කලුගල් පියගැට පෙළ දක්නට ලැබුණා. එය කඳු බෑවුමේ නටබුන් වෙතට අප රැගෙන යනවා.

වනය අතරින්.

බෑවුමේදී අපට මුලින්ම හමුවන්නේ ඡන්තාඝරය නම් ගොඩනැගිල්ලයි. එය භාවනානුයෝගී භික්ෂුන් වහන්සේ උණුපැන් ස්නානය කළ ගොඩනැගිල්ලක්. පියස්සක් සහිතව සමසතරැස් ස්වරූපයෙන් යුත් එහි අද පාදම පමණයි දක්නට ලැබෙන්නේ. භික්ෂුන් වහන්සේ සිරුර උණූපැන් සහ ඔසු වර්ගවලින් නෑවීමටත් වාෂ්ප ඇල්ලීමටත් මෙම ගොඩනැගිලි යොදාගත් බව හෙළිවී තිබෙනවා.

බෙහෙත් ඇඹරුම් ගල්, උණූපැන් සැකසූ ලිප් ආදිය මින් හමුවී තිබෙනවා. මෙවැනි ඡන්තාඝර රිටිගල, අරන්කැලේ, රජගල වැනි ස්ථානවලින්ද  දැකගත හැකියි.

පියගැට නගිමින්.

කඳු පාමුල ඡන්තාඝරය.

නටබුන් දාගැබ.

උත්තුංග වනරුක් අතරින් ගමන් කළ අපි තරමක තැනිතලා බිමක පිහිටි ගල්පර්වතයක් වෙතට පැමිණූනා. අවට දර්ශනය රමණීය අයුරින් මෙහි සිට දැකගත හැකියි. මහා වනාන්තර, කෙත් හා වැව් අතරින් ක්ෂිතිජය පලාගෙන ඉහළ නගින මුදුන් හතකින් යුත් අඩි 2514ක් උසැති රිටිගල මෙතැනට කදිමට දර්ශනය වෙනවා.

පසෙකින් පැරණි දාගැබ් ගොඩැල්ලක්ද පර්වතය මතදී දකගත හැකියි. දැන් ඒ නටබුන් යටකරනගෙන මහ ගස් වැවිලා. නිදන් හොරු හෑරූ වළක්ද ඒ අසලම තිබෙනවා.

පුරාවිද්‍යාත්මකව ඉහළ වැදගත්කමක් හිමිකර ගන්නා මානාකන්ද අප රටේ දක්නට ලැබෙන පධානඝර ආරණ්‍ය කිහිපයෙන් එකක්. මානාකන්දේ වනය තුළින් ශෛලමය ගොඩනැගිලි 70ක පමණ නටබුන් හමුවී තිබෙනවා. පධානඝර, ඡන්තාඝරයක්, පෙත්මං, පියගැට පෙළ. සංඝාරාම, සක්මන් මලු, පොකුණු, කටාරම් කෙටූ ලෙන් ආදී නෂ්ටාවශේෂ අඩි 1500ක් ඉහළට විහිදී යන කන්ද පුරා පැතිරී තිබෙනවා.

මානාකන්දේ ඉතිහාසය

පුරාවිද්‍යාත්මක සාධක අනුව මේ බිම මුලින්ම භික්ෂුන්ගේ වාසයට නතුවී තිබෙන්නේ ක්‍රි. පූ. 3-2 සියවස් අතර කාලයේදීයි. ඒ මෙරටට බුදුදහම ලැබී අනුරාධපුර අගනුවර බොදු ප්‍රබෝධයෙන් ඇලලුණූ සමයයි. අනුරාධපුරයට නුදුරින් පිහිටි මානාකන්ද ද ඒ සමයේම කාසාය වස්ත්‍රෙයන් බැබලුණු පුදබිමක් බවට පත්ව ඇති බව මේ නටබුන් පැහැදිලි කරනවා.

අසල වූ රිටිගල  මෙන් මෙහිද සැදැහැවත් උපාසක උපාසිකාවන් පිදූ ලෙන් රාශියක් තිබෙනවා. ඒ බව හෙළිදරව් කරනා ලෙන් ලිපි කිහිපයක්ද හමු වී තිබෙනවා. ලෙන් පිදූවන් අතර ගෘහපති වෙසකුල, ගම් ප්‍රධානී නාග, ගෘහපති වංශ යන අය සිටිනවා.  මුලින්ම ලෙන්වල භාවනා කළ භික්ෂූන්ගේ ආරාමයක් වූ මානාකන්ද ක්‍රි. ව. 9-10 සියවස් වන විට රාජ්‍ය අනුග්‍රහයෙන් ගොඩනැගිලි තැනූ පධානඝර ආරණ්‍යයක් බවට පත්වෙලා.

මෙහි තැන්තැන්වල පිහිටි දැවැන්ත කලුගල් පුවරුවලින් ඉදිකළ පධානඝර අප සිත් අතීතයට රැගෙන යන්නට සමත්. එදා මේවාට පියස්සක් ඉදිකර තිබුණත් අද ඒවා දකින්න නැහැ. ක්‍රි. ව. 9-10 සියවස්වල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිත මෙම ගොඩනැගිලි විශේෂය භාවනා ක්‍රම ප්‍රගුණ කිරීමට තැනූ ඒවා බව පුරාවිද්‍යාඥයන් පවසනවා.

භික්ෂුන් බවුන් වැඩූ පධානඝර.

සියුම්ව කපන ලද විශාල කලුගල් එදා අපේ තාක්ෂණය අපට පැහැදිලි කරනවා. මේ ගොඩනැගිලි චතුරස්‍රාකාර වේදිකා දෙකක් එකට බද්ධවන සේ තනා තිබෙනවා. මේ අතරින් පිටුපස වේදිකාව බොහෝවිට කුඩා පර්වතයක් මත තනා දිය අගලකින් වටකර තිබෙනවා. පධානඝර නිර්මාණයේදී කිසිම කැටයමක් යොදාගෙන නැහැ. ඒ භාවනානුයෝගී භික්ෂූන්ගේ චිත්ත දමනයට මෙවන් දේ බාධාවක් විය හැකි බැවින්. මෙහි කැටයම් දැකගත හැකි එකම ස්ථානය වැසිකිලි ගල් පමණයි.

ඈතින් පෙනෙන රිටිගල කන්ද.

පාරිසරික වැදගත්කම

අපි වනපෙත අතරින් රිංගමින් ඉහළට පිවිසියෙමු. ඇතැම් තැනක ඇත්තේ ගල්ලෙන් ය. තවත් තැනක කලුගල් පුවරු ය. ඒ අතර තැනක කලුගල් කැපූ ස්ථානයක්ද දකින්න ලැබුණා. එහි පිහිටි දිගු පර්වතයේ කලුගල් කපා කඳු පහළට රැගෙන ගිහින් තිබෙනවා. අදටත් ඒ අවට ගල් කැපීමට උත්සාහ කළ ස්ථාන රාශියක් දැකගන්නට පුළුවන්.

කුරුල්ලන්ගේ කිචිබිචිය පරදවමින් ඇසෙන පක්ෂි නාදය අප සවන් පිනවනවා. සිලු රාජාලියා, වැව් රාජාලියා වැනි මාංශ භක්ෂක පක්ෂීන් වගේම අපේ රටට ආවේණික වලිකුකුළා සහ හබන් කුකුළාත් මෙහි වාසය කරනවා. මුදුන්බොර දෙමලිච්චා සහ ලංකා සැලලිහිණියාත් මානාකන්දේ සරන අපට ආවේණිකයන්. වන අලියා මේ අවට නිතර සරන බව උන්ගේ බෙටිවලින් පේනවා. ඊට අමතරව මුවා, ගෝනා සහ වල්ඌරා, කබල්ලෑවා, මුගටියා හාවා වැනි සතුන්ද මෙහි වාසය කරනවා. ඌරන්ට බැඳ ඇති කුවක්කු නිසා ඔබ මෙහි ගමන් කිරීමේදී ඉතා පරික්ෂාකාරී විය යුතුයි.

දිය පිරි පොකුණ.

කන්දේ මැදින් පහළට බැසීමෙන් එදා භික්ෂුන්ට ස්නානය කිරීමට තැනූ විශාල පොකුණ දැකගන්න පුලුවන්. වටේට කලුගල් පුවරු අල්ලා බැසීමට පියගැට සකසා තැනූ එය අදටත් ජලයෙන් පිරිලා. අරලු, බක්මී. ඇහැළ, ඇත්දෙමට, දමනිය, පලු, වීර හැලඹ, කොහොඹ, කලුවර, ගම්මාලු වැනි ශාක ප්‍රජාවක් මේ අවටදී දැකගන්න ලැබෙනවා.

ඔබේ සිත අතීතයට රැගෙන යන මේ සොඳුරු පරිසරය කවුරුත් නරඹා සිත පහන් කරගත යුතු ස්ථානයක්, ඉතින් වෙනයම් කරුණකට හෝ මෙම ප්‍රදේශයට ගියොත් මේ ස්ථානයත් දැකබලාගන්න යයි අපි ඔබට ආරාධනා කරනවා.

සියලු ජායාරුප කතෘ විසිනි.

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

Comments