චාරිකා

පොළොන්නරුවෙන් සැඟවුණු මැදිරිගිරිය වටදාගෙය

Published

Search Icon Search Icon Search Icon Search Icon

පොළොන්නරුව කියූ සැනින් ඔබේ මතකයට එන්නේ මහා සාගරය පරදවන විශාල වැව් හා පෞරාණික නටබුන් කීවොත් ඉතාමත්ම නිවැරදියි. පොළොන්නරු දිස්ත්‍රික්කයේ නටබුන් අතරින් වඩාත්ම ජනප්‍රිය පොළොන්නරුව නගරය ආශ්‍රිත පිහිටි රාජධානි නටබුන් හා ගල් විහාරයයි. නමුත් පොළොන්නරුවේ සිට තරමක් ඈතින් මැදිරිගිරියේ පිහිටා තිබෙන ශ්‍රී ලංකාවේ දර්ශනීයම වටදාගෙය, පොළොන්නරුවට එන දේශීය විදේශීය සංචාරකයින් දැක බලා ගැනීමට නොයන තරම්. නගරයෙන් තරමක් දුරින් පිහිටා තිබීම මෙයට එක හේතුවක් ලෙස සටහන් කරන්න පුළුවන්.

ඉතින් අද අපි කතා කරන්න යන්නේ තරමක් අප්‍රසිද්ධ නමුත් ශ්‍රී ලංකාවේ අලංකාරතම වටදාගෙය පිළිබඳවයි. ලඟදි පොළොන්නරු පැත්තේ යන්න හිතාගෙන ඉන්නවනම් තරමක් දුරින් පිහිටා තිබුනත් මැදිරිගිරියේ පැත්තේ ගිහින් ශ්‍රී ලාංකික ගල් වඩුවාගේ දක්ෂතා මැනවින් නිරූපණය වන වටදාගෙය දැක බලාගෙන එන්නත් අමතක කරන්න එපා.

කොහොමද ළඟා වෙන්නේ?

මැදිරිගිරියේ සිට වටදාගෙයට පැමිණෙන මාර්ගය- දූවිල්ලනම් ටිකක් සැරයි.

මැදිරිගිරියේ සිට වටදාගෙයට පැමිණෙන මාර්ගය- දූවිල්ලනම් ටිකක් සැරයි.

ත්‍රිකුණාමලය – කොලඹ මාර්ගයේ හබරණ මංසන්දියෙන් හැරී පොළොන්නරුව දෙසට ගමන් කිරීමේදී මින්නේරිය මංසන්දියෙන් හිඟුරක්ගොඩට පැමිණිය යුතු වෙනවා. අනතුරුව හිඟුරක්ගොඩින් 14 km දුර ගෙවා මැදිරිගිරිය නගරයට පැමිණිය යුතුයි. ඔබ පොළොන්නරුව නගරයේ සිට පැමිණෙනවානම් පොළොන්නරුවේ සිට හතමුණ මාර්ගයෙන් 14 km දුර ගෙවා හිඟුරක්ගොඩට පැමිණ අනතුරුව මැදිරිගිරියට ළඟා වෙන්න පුළුවන්.

මැදිරිගිරිය නගරයේ සිට 3.5 km පමණ අඹගස්වැව ප්‍රදේශයට ගමන් කිරීමේදී තමයි වටදාගෙය හමුවන්නේ. මැදිරිගිරිය සිට වටදාගෙයට ගමන් කරන මාර්ගය ප්‍රතිසංස්කරණය කරන බැවින් මේ දවස් වල ඔබ ගියොත් දුහුවිල්ලෙන් නෑවීගෙනම යන්න පුළුවන්.

ධාතුඝරය වටදාගෙය බවට

වටදාගෙය- ඉදිරිපස පෙනුම.

වටදාගෙය- ඉදිරිපස පෙනුම.

කුඩා වෙහෙරක් වට කොට අලංකාරව ඉදි කර ඇති ගෘහයක් එකළ ධාතුඝරයක්  ලෙස හදුන්වා තිබෙනවා. නමුත් වර්තමානයේදී ධාතුඝර ව්‍යවහාරය කරනු ලබන්නේ වටදාගෙය නමින්. ශ්‍රී ලංකාවේ මුල් කාලීන ධාතුඝරයක් වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ හත්තිකුච්චි විහාරයේ ධාතුඝරයේ දක්නට ලැබෙන්නේ වෙහෙරක් පමණයි.

නමුත් ධාතුඝර ක්‍රමයෙන් විකාශණය වීමේදී වෙහෙරට අමතරව එය තුළට බුදු පිළිම වහන්සේලාද ඇතුළත් කරනු ලබනවා. පොළොන්නරුවේ, අත්තනගල්ලේ හා මැදිරිගිරියේ වටදාගෙවල් ශ්‍රී ලංකාවේ දැනට ඉතුරුව පවතින වටදාගෙවල් වෙනවා. ඒ අතරින් මැදිරිගිරිය වටදාගෙය ශ්‍රී ලංකාවේ අලංකාරතම වටදාගෙය ලෙස පුරාවිද්‍යාඥයන් විසින් හදුන්වනවා.

මණ්ඩලගිරිය – මැදිරිගිරිය

වටදාගෙය - පැති පෙනුම.

වටදාගෙය – පැති පෙනුම.

ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 13 වන සියවස දක්වා ක්‍රියාත්මකවූ විහාරස්ථානයක් ලෙස අක්කර සිය ගණනක භූමියක පැතිරී පවතින වටදාගෙය හේතුවෙන් මැදිරිගිරිය යන නම විකාශණය වන්නට ඇතැයි පුරාවිද්‍යාඥයන් අනුමාන කරනවා. මධ්‍යයේ ගිරියක් නොහොත් චෛත්‍යක් ඇත යන්න අරුත ඇති නමින් මුලින් මණ්ඩලගිරිය ලෙස හදුන්වා පසුව එය මැදිරිගිරිය බවට පත් වූ බව ඔවුන්ගේ මතයයි. වර්තමානයේ පවා කුඩා ප්‍රදේශයක් මණ්ඩලගිරිය නමින් හදුන්වනවා. එලෙසම මෙම වටදාගෙයහි භාරකාරත්වය ඇත්තේද මණ්ඩලගිරි රජමහා විහාරයටයි.

ඉන්දියානු අභාෂයෙන් සම්පුර්ණයෙන්ම වෙනස්

අලංකාර කැටයම් වලින් යුත් ගල්කණු ශීර්ෂ  

අලංකාර කැටයම් වලින් යුත් ගල්කණු ශීර්ෂ

වර්තමානයේ පවතින කුඩා චෛත්‍ය වට කොට පැවති ගෘහයේ වහළ හෝ බිත්ති දක්නට ලැබෙන්නේ නෑ. නමුත් ඒ සදහා ආධාරකවූ ගල් කණු තාමත් අලංකාරව දිස් වෙනවා. මධ්‍යයේ ඇති වෙහෙර ගරා වැටීමකට ලක්ව තිබුනත් ස්ථූපයට කරන ලද දාගෙයි දිසා හතරට මුහුණලා සිටින ධ්‍යාන මුද්‍රාවෙන් යුත් බුදු පිළිම හතර යම් යම් ප්‍රතිසංස්කරණයට ලක් කළත් පැරණි බවට හානි වීමක් නම් සිදු වී නෑ.

ශ්‍රී ලාංකික ඉදිකිරීම් වලට ඉන්දියානු ගෘහ නිර්මාණ ආභාෂය ලැබී තිබුනත් මැදිරිගිරි වටදාගෙය නිර්මාණය කර තිබෙන්නේ ඉන්දියානු සම්ප්‍රදායට බෙහෙවින් වෙනස් ආකාරයකටයි. ඉන්දියාවේ වටදාගෙය වෙනුවට ඉදි කර ඇත්තේ චෛත්‍ය ගෘහය පමණයි. නමුත් මැදිරිගිරියේදී එය සම්පුර්ණයෙන්ම නවීකරණය කර ඇති බවක් දකින්නට ලැබෙනවා.

භාරතයේ මෙන් පිහිටි කළු ගලේම නෙලනු වෙනුවට ස්ථූපය වටා කළුගල් කුළුණු පේළි දෙකක් සිටුවා ඒ මත කවාකාර වහලක් ඉදි කර තිබෙන්නට ඇතැයි සළකන්න පුළුවන්. ඊට අමතරව ගල්කණු මායිම් කර ගෘහයක් නිර්මාණය කර තිබෙන්නට ඇතැයිද පුරාවිද්‍යාඥයන් විසින් උපකල්පනය කරනවා. වහළ හා ගෘහය දක්නට නොමැති වූවත් කවාකාරව සිටවූ අලංකාර කැටයම් හිසින් යුත් ගල් කණු සියල්ල පාහේ දැනටත් දැක ගන්නට පුළුවන්.

වැසි ජළය බැස යාමට තැනූ පිහිල්ලක්.

වැසි ජළය බැස යාමට තැනූ පිහිල්ලක්.

වටදාගෙය තුළ බිම් සැකැස්ම සම්පුරණයෙන්ම කවාකාර වෙනවා. ඇතුළත ශාලාවක් ඉතුරු නොවී ඇති අතර නැරඹීමට හා වන්දනා කිරීමට ඉඩ ඇති ආකාරයෙන් ප්‍රදක්ෂිණා පථයකට පමණක් අභ්‍යන්තරයේ ඉඩ වෙන්කර තිබෙනවා. මළුවට නැඟීම සඳහා එක් පැත්තකින් පමණක් පිය ගැට පෙළක් නිර්මාණය කර තිබෙන අතර ගලින්ම පිය ගැට පෙළ හා මළුව එකිනෙක සම්බන්ධ කර තිබෙනවා.

ප්‍රතිමාඝර

හිටි පිළිම හා ඉදි පිළිම කිහිපයකින් යුත් ප්‍රතිමා ගෘහය.

හිටි පිළිම හා ඉදි පිළිම කිහිපයකින් යුත් ප්‍රතිමා ගෘහය.

වටදාගෙයට අමතරව ප්‍රතිමාඝර දෙකක් මේ භූමිය තුළ දකින්නට පුළුවන්. ප්‍රතිමාඝරය යනු පිළිම වලට ආරක්ෂාව උදෙසා ගොඩනැංවූ ගෘහයක්. බොහෝ තැන් වල දකින්නට ලැබෙන ගලෙන්ම නිර්මාණය කල ප්‍රතිමාඝර වෙනුවට මෙහි දකින්නට ලැබෙන්නෙ ගඩොල් හා බදාම වලින් නිර්මාණය කල ප්‍රතිමාඝරයි. එක් ගෘහයක් තුළ ගඩොල් හා බදාමයෙන් නිර්මාණය කල විනාශ වී ගිය විශාල සැතපෙන පිළිමයක නටබුන් දකින්නට පුළුවන්. ඒ වගේම අනෙක් ගෘහයේ කැඩී බිදී ගිය හිටි පිළිම හා ඉදි පිළිම කිහිපයකුත් දැකගන්නට පුළුවන්.

නිර්මාණකරුවන් අවිනිශ්චිතයි

අසාධ්‍ය රෝගීන් බෙහෙත් පිරවූ මෙම ඔරු තුළට බස්සවා ප්‍රතිකාර කළ බව සදහන්.

අසාධ්‍ය රෝගීන් බෙහෙත් පිරවූ මෙම ඔරු තුළට බස්සවා ප්‍රතිකාර කළ බව සදහන්.

ඉතිහාසගත මුලාශ්‍ර පරික්ෂා කර බැලුවත් මේ එක් එක් නිර්මාණයන්හි සැබෑ අයිතිකරුවන් කවුරුන්දැයි යන්න නිශ්චිතව හෙළි කර ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට තවමත්  හැකියාවක් ලැබී නෑ.

මහා වංශයට අනුව කනිට්ඨතිස්ස රජු (ක්‍රි:ව 164-186), දෙවන අග්බෝ රජු (ක්‍රි:ව 608-618), දෙවන සේන රජු (ක්‍රි:ව 853-887) හා මහා පැරකුම් රජු (ක්‍රි:ව 1153-1180) මෙහි නොයෙකුත් ඉදිකිරීම් සිදුකර තිබෙනවා. සංගමු විහාර ලිපියකට අනුව පිහිටි රට පාලක ගජබාහු රජු හා රුහුණු රට පාලක පරාක්‍රමබාහු රජු සාම ගිවිසුමකට මෙම ස්ථානයේදී එළඹී ඇති බව සදහන්. ක්‍රි:ව 7 හෝ 8 වන සියවසේ මෙහි ඉදි කර ඇති සෙල් ලිපියක සටහන් වෙන ආකාරයට මෙම භූමියේ ඉතා දියුණු රෝහලක් තිබු බව සදහන් වෙනවා. එහි නටබුන් අද පවා දකින්නට පුළුවන්.

වරින් වර ඇති වූ විදෙස් ආක්‍රමණ හේතුවෙන් වටදාගෙය ඇතුළු විහාර භූමිය විනාශයට පත් වෙලා තියනවා. ඒ අතරින් කාලිංඝ මාඝ හා චන්ද්‍රබාහු ආක්‍රමණයන් වටදාගෙය විශාල ලෙස විනාශ වීමට හේතු වී තිබෙනවා.

පුරාවස්තු සුරකිමු

රෝහලක් තිබු බව සදහන් වන සෙල් ලිපිය.

රෝහලක් තිබු බව සදහන් වන සෙල් ලිපිය.

පොළොන්නරුවේ හා අනුරාධපුරයේ මෙන් පුරාවිද්‍යා නිලධාරීන්, පොලිස් හෝ  සිවිල් ආරක්ෂක අංශයේ නිලධාරීන් සංචාරය පුරා අපට දකින්නට ලැබුනේ නෑ. පුරාවිද්‍යා වටිනාකම් ඇති ගල්කණු හා ප්‍රාකාර විවිධ විකෘති කිරීම් වලට ලක් කර ඇති ආකාරයක් අපට දකින්නට ලැබුනා (ගල්කණු වල නම් ගම් කෙටීම, ප්‍රාකාර වලට හා පිළිම වලට හානි පැමිණවීම්) මෙම ක්‍රියා ඇප නොලැබෙන දඬුවම් ලෙස 1940 අංක 9 දරණ පුරාවිද්‍යා ආඥා පනතේ දක්වා තිබෙනවා.

නමුත් මේ නීතින් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක නිලධාරීන් වර්ෂය පුරා වටදාගෙය භූමිය තුළට යෙදවීම අදාළ අංශයන්ගේ යුතුකමක් වනවා සේම පුරාවිද්‍යා ස්මාරක මතු උපදින පරපුර වෙනුවෙන් සුරැකීම අපගේ සුවිශාල වගකීමක්ද වෙනවා.

පොලිතීන් ප්‍රශ්ණය

තැනින් තැන විසිරුණු පොලිතීන්.

තැනින් තැන විසිරුණු පොලිතීන්.

වෙනත් සංචාරයන් වලදී මෙන්ම මෙහිදීත් පොලිතීන් අනවශ්‍ය ලෙස බැහැර කර ඇති බව සදහන් කරන්නේ කණගාටුවෙන්. මේ තුළින් පරිසර දුෂණය මෙන්ම වටදාගෙය අවට සැරිසරන මුවන්, වදුරන් හා රිලවුන් වැනි සතුන් මරණයට පත් වීමද නොදැනුවත්වම සිදු වෙනවා. ඔබත් මැදිරිගිරිය දැක බලා ගැනීමට යනවානම් හැකි තරම් පොලිතීන් භාවිතය අවම කරන ලෙසත්, භාවිතා කරනවානම් ඒවා නිසි ලෙස බැහැර කරන ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

ඉතින් ඔබත් පොළොන්නරුව හෝ සෝමාවතිය නැරඹීමට සැලසුම් කර තිබේනම් පොඩි කට්ටක් කන්න සිදු වුනත් මැදිරිගිරිය වටදාගෙය නරඹා යන්න වේලාවක් වෙන්කර ගන්නට  පුළුවන්නම් එය ඔබේ ජීවිතයේ සොදුරු අත්දැකීමක් වේවි යයි අපි හිතනවා.

සියළුම ජායාරූප – සම්පත් ප්‍රියදර්ශන

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

Comments