චාරිකා

සිරිපා වන්දනාවේදී මඟහැරෙන තැන්

Published

Search Icon Search Icon Search Icon Search Icon

“අපේ බුදුන් අපි වඳින්ඩ – පෙරළි පෙරළි අපි වදින්ඩ” කරනා සිරිපා වන්දනා වාරය මේ දිනවල ජයටම සිදුවෙනවා. මේ කාලයේ දීර්ඝ සති අන්තවල නම් සමනළ කන්දේ ඇගිල්ලක් ගහන්න ඉඩ නැති තරම් සෙනඟ. මේ නිසා ඔබ සිරිපා කරුණා කරන්න යනවා නම් එවැනි දවස් මඟ හැර යාමට උනන්දු වන්න.

සිරිපා කරුණා කරන විට අතරමග හමුවන සමහර ස්මාරක ගැන ඔබ සැලකිල්ලෙන් බැලුවාද? මේ ඒ ගැන දැනුවත් කිරීමක්.

සිරිපා කන්ද (cinnamanair.com)

සිරිපා වන්දනා කරන ප්‍රධාන මාර්ග 4ක්

පුරාණයේ පටන් ප්‍රධාන මාර්ග හතරක්‌ සිරිපා වන්දනාවට වන්දනාකරුවන් භාවිත කරනවා. ඒ හැටන් නල්ලතන්තිය පාර, කුරුවිට එරත්ත පාර, රත්නපුර පලාබද්දල පාර සහ දැරණියගල මාලිබොඩ පාරයි. මේ මාර්ගවලින් කුමන පාරක ගියත් සමනළ කන්ද මුදුනට යාමට ඇත්තේ ප්‍රධාන පාරවල් දෙකයි. ඒ හැටන් පාර සහ රත්නපුර පාරයි. අනෙක් පාරවල් කන්දේ විවිධ තැන්වලදී ඒ මාර්ග දෙකට එක් වෙනවා. හැටන් පාර දුර අඩු නිසා (කි. මී. 5) විශාල පිරිසක් සමනළ නගින්නේ ඒ මාර්ගයෙන්. රත්නපුර පාර දුරින් වැඩියි (කි. මී. 8.5) හැබැයි සොබා සුන්දරත්වයෙන් ඉහළයි.

මකර තොරණ

හිමේට පිවිසෙන මකර තොරණ. (2bp.blogspot.com)

හැටන් පාරේ නල්ලතන්නියේ සිට සමනළ කරුණා කරන ඔබට කඳු පාමුල දී මකර තොරණ දැකගත හැකියි. මෙය ලංකාවේ මුල්ම ජල විදුලි බලාගාරය වූ ලක්ෂපානේ විදුලියෙන් 1950 මාර්තු 4දා සමනළ කන්ද ආලෝකමත් කිරීම සැමරීමට ඉදිකළ ස්මාරකයක් බව වැඩි දෙනෙක් දන්නේ නැහැ. මෙහිදී පන්සිල් ගෙන බාරහාර වී ගමන් කිරීම බොහෝ වන්දනාකරුවන්ගේ සිරිතක්. මකර තොරණින් ඔබ්බට ඇති පෙදෙස හිමය හෙවත් සමන් දේව අඩවිය ලෙස සැලකෙනවා.

ගඟුලතැන්නේ සාම දාගැබ

සාම දාගැබත් වැඳගෙන යන්නයි. (rentacar-srilanka.com)

අනතුරුව වන්දනාකරුවා පැමිණෙන්නේ ගඟුලතැන්නටයි. පහළින් ගලායන දියපාරවල්වල හඬ මෙහිදී වැඩිවෙනවා. මේ ප්‍ර‍දේශයේ මෑතක දී ජපන් ආධාර මත ඉදිකළ සාම දාගැබ හා විහාරය පිහිටා තිබෙනවා. සමහරු එය නරඹන්න යන්න කැමැතියි. ඒ වගේම මේ ජපන් ස්මාරක පසුබිමේ සිටින සේ සෙල්ෆි ගන්නත් අද තරුණ පරපුර ඇබ්බැහි වෙලා.

ස්වාමි මඩම ගඟුල තැන්නේ පිහිටා ඇති තවත් වැදගත් තැනක්. අද මෙන් නවාතැන් හා හෝටල් නොවූ පුරාණයේ වන්දනාකරුවන් නවාතැන් ගත් විශාල අම්බලමක් තමයි මේ.

සීත ගඟුලේ දී නා පේවෙන්නයි

සීත ගඟුලෙන් නාමින්. (btoptions.lk)

ඉන් ඉදිරියට ගමන් ගන්නා විට සීත ගඟුල නමැති ස්ථානය හමු වන අතර කෝඩු කාරයන් ස්නානය කර පේවීම සිදු වන්නේ හා වන්දනා නඩ දිය නා පිරිසිඳු පිරිසිදු වී සුදු පැහැති වස්ත්‍ර ඇඳගන්නේ ද මෙම ස්ථානයේදීයි.

කෝඩු කාරයන් සීත ගඟුලේ බැස දිය නා පිරිසිදු වූ පසු නඩේ ගුරා විසින් දෙහි ගා පිරිසිදු කරන ලද කාසියක් සුදු රෙදි කඩක පඬුරක් ලෙස ගැට ගසා ඔවුන්ගේ දකුණතෙහි ගැට ගසනවා. ඉන් අනතුරුව සීත ගගුලෙන් ඉහලට ගොඩ වී එතැනම පිහිටුවා ඇති සමන් දෙවියන්ගේ පිළිරුවට පින් අනුමෝදන් කර කෝඩුකාරයන්ව බාර කරන්නේ උපද්‍රවයකින් තොරව මුදුනටම කරුණා කරවන ලෙසයි. එම පඬුරු උඩ මළුවේ ඇති සමන් දෙවි ප්‍රතිමාව අසල ගැට ගැසී සිරිතක්. මේ ගැන සඳහන් පැරැණි ජන කවියක් මෙන්න:

ඔන්න සීත ගඟුලයි       පවසනවා

කෝඩු සැවොම නානට සැරසෙනවා

ගුරුන් කියන බස් සිතට    ගන්නවා

නාමින් පිරුවට ඇඳ    නික්මෙනවා

ගෙත්තම් පාන

ඉඳිකටුපානේ ගෙත්තම් කරලා. (nini.travels.com)පිරුවටයෙන් සැරසී සීතලේ ගැහෙමින් යන වන්දනාකරුවාට ඉදිරියට යන විට හමුවන්නේ ගෙත්තම් පානයි. බුදු රජාණන් වහන්සේ තම ඉරුණු සිවුරේ ඉරුණු තැනක් පිළිසකර කරගත් ස්ථානය ලෙස එය හඳුන්වයි. මෙහි දී කන්ද නගින පියගැට පෙළ අද්දර ගසක් හෝ කණුවක නූල් හා ඉදිකටු දවටා තැබීම බොහෝ වන්දනාකරුවන්ගේ සිරිතක්. මේ නූල් හා ඉදිකටු අවට වෙළෙඳසල්වලින් මිලදී ගත හැකියි.

ගෙත්තම් පානට ගොසින් බසින්නේ

සමහරු ගෙත්තම් කරති එතැන්නේ

එහි කරනා වැඩ මට නොදැනෙන්නේ

ඉඳිකටු නූලුත් බොහොම තියෙන්නෙ

මහගිරිදඹේ නගිනවා

හෙලේ නගිං ඩෝං පුතා. (i.stacks.imagur.com)

දඹය යනු ප්‍රපාතාකාර පර්වත කූටයකි. සමනළ කන්දේ මුදුන ආශ්‍රිතව පිහිටි අවසාන කොටස මේ නමින් හැඳින්වෙනවා. මේ කඳු නැග්ම ඉතා දුෂ්කරයි. පඩි පෙළ පිහිටා ඇත්තේ දැඩි බෑවුම තරණය කරමින්. අත්වැල් අල්ලාගෙන පඩි කරණය කළ යුතුයි. පුරාණයේ මහගිරිදඹය තරණය කළේ දම්වැල්වල එල්ලෙමින්. සමහරු ඒ කාලේ කන්දෙන් වැටී මියගිහින් පවා තිබෙනවා.

මේ දම්වැල්වල කොටස් රත්නපුර පාරෙදී අදත් දැකගත හැකියි.

මහගිරි දඹේ කරුණාවයි. (willgoto.com)

භගවා ලෙන නරඹන්න

භගවා ලෙන දෑසින් දකින්න. (amazinglanka.com)

සිරිපා මළුවට පහළින් පර්වත බෑවුමේ පිහිටා ඇති ලෙන සිරිපා මළුවේ සිට හැටන් පාර දිගේ අඩි 300 ක් පමණ බසින විට මාවත වම් පස අඩි 8 1/2 ක් උස අඩි 25 ක් පමණ දිගැති කොටසක් හාරා පළල් කළ ගල් ගුහා‍වක්. සුමන සමන් සුරිඳුන්ගේ ආරාධනාවෙන් සමන්කුළ මත සිරිපා ලකුණූ තැබු තථාගතයාණන් වහන්සේ දිවා විහරණය කළේ පර්වත පාදයෙහි නුදුරින් පිහිටි මෙම ගල් ගුහාවේ බව සිතිය හැකි යයි සබරගමු පැරැණි ලියවිලි පොත ලියූ පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමි සඳහන් කරනවා. කැලෑවට යටවී තිබූ මෙම ගුහාව පසුගිය කාලයේ පිළිසකර කර කරඹන්නට පහසුකම් සලසා තිබෙනවා.

කීර්ති ශ්‍රී නිශ්ශංක රජතුමා (ක්‍රි.ව. 1187) සිරිපා වන්දනාවට පැමිණි බව සඳහන් සෙල්ලිපියක් සහ අරාබි සෙල්ලිපියක් මෙහි කොටා තිබෙනවා. එමෙන්ම රජු සිරිපා වැඳි ආකාරය දක්වන රේඛාමය රූ සටහනකුත් කොටා තිබෙනවා.

සිරිපා පද්මය වඳින්ඩයි

මුනි සිරිපා මලුව. (i.ytimg.com)

සමනල කන්ද මත අඩි 12ක් පමණ උස පර්වතය මත ශ්‍රීපාද ලාංජනය පිහිටි බව විශ්වසයයයි. අද එහි දක්නට ලැබෙන්නේ දිග අඩි 5 අඟල් 3ක් හා පළල අඩි 2 අඟල් 7ක් වූ විශාල පා සලකුණක්. සමනළ කන්දට එන වන්දනාකරුවන් මෙම සලකුණට නළල තබා වන්දනා කරනවා.

සිරිපා පද්මය වැඳගෙන. (2bp.blogspot.com)

රත්නපුර පාරෙන් සිරිපා නගිමු

මහාවංශයේ මේ පාර හඳුන්වා තිබෙන්නේ දුග්ගමඤ්ජස කියලයි. රත්නපුරේ සිට පලාබද්දලට ගොස් එතැන් සිට පාගමනින් යායුතුයි. රත්නපුර සිට සිරිපාගම දක්වා යන බස්වලින් ද පලාබද්දලට පැමිණීමට පුලුවන්. රත්නපුරේ සිට දුර කි. මී. 23යි.

හැටන් පාර තරම් ජනාකීර්ණ නැති මේ මාර්ගය ඉතා සුන්දරයි. පලාබද්දල කුඩාකඩමණ්ඩියක්ද අම්බලමක්ද පිහිටා තිබෙනවා. සිරිපා වන්දනාවට පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජුට පලා මැල්ලුමක් සමඟ බත් කන්න ආසාවක් ඇති වුණාලු. ඉතින් ඒ ආසාව ගැමියෝ ඉෂ්ට කර දුන්නාලු. ඊට පස්සේ මේ ගම පලාබත්දොළ වෙලා පසුව පලාබද්දල වුණාලු. ඊටත් මෑත කාලෙක මේ නමට ශ්‍රී කෑල්ලකුත් එකතු වෙලා. ඒක නිසා අද කියන්නේ ශ්‍රී පලාබද්දල.

මේ මාර්ගය සෑහෙන දුරක් යනතෙක් ඇදී යන්නේ කඳුකර ගම්මාන මැදින්. තැනින් තැන තේවතු පේනවා. අවසාන ගම්මානය පවනැල්ලයි. ඊට පසු දිගටම යා යුත්තේ හිමේ මැදින්. කලු ගඟේ ආරම්භක අවස්ථාව ද මේ මාර්ගයේ දී ඔබට දැකගත හැකියි.

රජමහා විහාරය හා ප්‍රතිරාජ පිරිවෙණ

මාර්ගය ආරම්භ වන ස්ථානයේම පිහිටා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරයයි. එහෙත් එහි පැරණි නටබුන් දක්නට ලැබෙන්නේ නැහැ. ප්‍රතිරාජ පිරිවෙනට අයත් ගල්කණු කිහිපයක් විහාර භූමියේ සිටුවා තිබෙනවා. මේ විහාරය කරවා තිබෙන්නේ සිරිපා වන්දනාවට පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජු බවට සැලකෙනවා.

පඩි නැගගෙන යන විට දකුණු පසින් දඹදෙනි යුගයේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වූ ප්‍රතිරාජ පිරිවෙණ පිහිටි ස්ථානය හමුවෙනවා. මෙම පිරිවෙණේ තිබූ ගල් පදනම් හා කණු අදවන විට විනාශ වෙලා.

ලීනිහෙල

ලීනි අක්කේ කියනා ලීනිහෙල. (panoramio.com)

සුන්දර දියඇලි පසුකරමින් යන විට හමුවන කුඩා තැනිබිමේ විඩා නිවීමට ලීනිහෙල අම්බලම පිහිටා තිබෙනවා. දැඩි බෑවුමකින් යුත් පර්වත දොරුවක් මේ ස්ථානයේ පිහිටා තිබෙනවා. ඈතින් පේන්නේ බිත්තියක් සේ ඉහළ නගින මහා පර්වතයක්. ඒ ලීනිහෙල.

ලීනි අක්කේ යයි මෙතනදී කෑගැසීමට වන්දනාකරුවන් අමතක කරන්නේ නෑ. එවිට එම හඬ නැවත දෝංකාර දෙමින් අපටම ඇසෙනවා. දුක්බර කතාවක් එහි සැඟව පවතින බවයි ජනකතාවල පැවසෙන්නේ. පුරාණයේ මෙහි විසූ කාන්තාවකගේ දරුවෙකු ප්‍රපාතයෙන් වැටී මියගිය බවත් ඒ දුකට ලීනි අක්කා ද හෙලට පැන මැරුණු බවත් පැවසෙනවා.

ධර්මරාජගල

ධර්මරාජගල ගල්පඩි ගණිමින්. (4.bp.blogspot.com)

ගලක් ඔස්සේ මෙහිදී සිරිපා මාර්ගය ඇදී යනවා. පුරාණ ගල්වඩුවන් ඒ බාධකය ජයගෙන ඇත්තේ ගලේ ගල්පඩි 100කට වඩා කොටා මාර්ගය තැනීමෙන්.

බොහෝ වන්දනාකරුවන් මෙහි ගල්පඩි ගණින්න උත්සාහ කළත් එය නිවැරදිව කිරීම අපහසු බවයි පැවසෙන්නේ. ඔබටත් මේ මාර්ගයෙන් ගියොත් ගල්පඩි ගණින්න පුලුවන්. මේ ගලේ කොටා තිබෙන කෝට්ටේ යුගයට අයත් සෙල්ලිපියක කියැවෙන්නේ කසාවතු නම් බමුණුගම ධර්මරාජ නම් බ්‍රාහ්මණයෙක් මතු බුදු බව පතා ගල්පඩි කරවූ බවයි.

හැරමිටිපාන

බුදුන්වහන්සේට යම් පුද්ගලයකු මෙහිදී හැරමිටියක් පූජා කළ බවයි ජන විශ්වාසයේ එන්නේ. එරත්නේ සිට පැමිණෙන කුරුවිට පාර රත්නපුර පාරට සම්බන්ධ වන්නේ මේ ස්ථානයෙන්. දිගු දුරක් කඳු තරණයෙන් වෙහෙසට පත්ව සිටින වන්දනාකරුවාට වෙහෙස නිවා ගැනීමට මෙහි විශාල අම්බලමක්ද පිහිටා තිබෙනවා. රත්නපුර පාරෙන් සිරිපා කරුණා කරන වන්දනාකරුවන්ට මුල් වරට සිරිපා කන්ද දිස්වන්නේ මෙතැනදීයි.

ආඩියාමල තැන්න

සිරිපා වන්දනාකරුවා ඊළඟට පිවිසෙන්නේ මෙතැනටයි. සීතාවක රාජසිංහ රජ කාලේ මෙතැන අයිතිකරගෙන සිටි ආඩි ගුරෙක් මළ නිසා ඒ නම ලැබී තිබෙනවා. මෙතැන සිට ඇරඹෙන මාර්ගය තවත් බෑවුම්කාරීයි.

ඇහැළ කණුව

ඇහැල කණුව. (sirilakasarisarablogspot.com)

මාර්ගය අයිනේ පිහිටි මෙය අඩි දෙකක් පමණ උස ගල්කණු කැබැල්ලක්. මෙය දැනට දෙකට කැඩී තිබෙනවා. මේ කණුව කුමන හේතුවක් නිසා ඒ නමින් හඳුන්වනවා දැයි දැනගන්නට නැහැ. වන්දනාකරුවන් මේ කණූවේ විටට කන හුණු තැවරීම සිදු කරනවා. රත්නපුර පාරේ මහගිරිදඹය ඇරඹෙන්නේ ඇහැළ කණුව අසල සිටයි. මහගිරි දඹේ නගින විට පුරාණයේ භාවිත කළ දම්වැල්වල කොටස් ද ඔබ උනන්දුවෙන් බැලුවොත් දකීවි.

මෙවර සිරිපා වන්දනා කරන ඔබත් මේ අපූරු තැන් දැකබලාගන්න උනන්දු වන්න. සිරිපා වන්දනාව සම්පූර්ණ වන්නේ එවිටයි.

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්