විශේෂාංග

විනාඩි 3 ක කියවීමක්

කුරිරු ලෙස මිනිස් ඝාතන සිදුකළ කාන්තාවන් තිදෙනෙක්

Published

විනාඩි 3 ක කියවීමක් to read

Search Icon Search Icon Search Icon
Amanda Abeysooriya

Amanda Abeysooriya

Staff Writer

Serial killer, සිංහලෙන් කිව්වොත් ‘අනවරත ඝාතකයෙක්’ කියන්නෙ සාමාන්‍යයෙන් මිනිසුන් තිදෙනෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඝාතනය කළ අයෙක්ට. මේක කියවන විට දී ඔළුවට එන්නෙ මහා භයානක පෙනුමක් තියෙන පිරිමියෙක්ගෙ රූපයක් වීම සාමාන්‍යයි. මොකද, කුප්‍රකට මිනීමරුවන්ගෙ ලැයිස්තුවෙ ඉන්න බහුතරය පිරිමින් නිසා.

ඒ කෙසේ වෙතත්, සැලකිය යුතු තරමට කාන්තාවන් පිරිසකුත් මෙම ලැයිස්තුවේ දක්නට ලැබෙනවා. බොහෝවිට නොකියවෙන, නොදන්නා මේ පිරිසෙන් කීප දෙනෙක් පිළිබඳව ලියන්න අපි හිතුවා.

නැනී ඩොස් – හිනාවෙන නැනී

gigglingnannie.jpg ‘හිනාවෙන නැනී’. (Gizmodo)

1905 දී ඇමරිකා එක්සත් ජනපදයේ දී ‘නැන්සි හේසල්’ යන නමින් උපත ලැබූ නැනී, පුද්ගලයින් 11 දෙනෙකු ඝාතනය කළ තැනැත්තියක්.

ඇයට ගොදුරු වූවන් අතර ඇගේ ස්වාමි පුරුෂයින් සිව් දෙනෙක්, ඇගේම දරුවන් දෙදෙනෙක්, ඇගේ මව, ඇගේ සොයුරියන් දෙදෙනා, එක් මුනුපුරෙක්, සහ නැන්දම්මා ද වනවා. වයස 16 දී පළමු වරට විවාහ වූ නැනී ඩොස් ගත කර තිබුණේ අසතු‍ටුදායක විවාහ දිවියක්. සිය සැමියාගේ මවගෙන් සිදු වන ගැහැට ඉවසීමට නොහැකිව නැනී බීමට ඇබ්බැහිව තිබූ අතර, තම සැමියාව ද සැක කිරීමට පටන්ගත්තා.

ඇගේ දියණියන් දෙදෙනෙකු ආහාර විෂ වීමෙන් මිය ගිය පසු, ඇය ඔවුන්ව මරා දමන්නට ඇතැයි සැක කළ සැමියා ඔවුන්ගේ වැඩිමල් දියණිය ද සමඟ නැනී අතහැර පලා ගියා.

ඉන්පසු පුවත්පත් වල ‘තනි වූ හදවත්’ තීරුවට ලිවීමෙන් තනිකඩ පුරුෂයින් හඳුනාගැනීම ඇරඹූ නැනී විටින් විට සිව් දෙනෙක් සමඟම විවාහ වූ අතර ඔවුන් සියළු දෙනාවම ආසනික් විෂ යොදා ඝාතනය කළා මෙන්ම, ඔවුන්ගේ මරණයෙන් පසු ඇතැම්විට රක්ෂණ වන්දිය ද ලබා ගත්තා.

ඇගේ අවසන් සැමියාගේ මරණය පිළිබඳව සැක කළ වෛද්‍යවරයා මරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව ඔහුගේ මෘතදේහයෙන් ආසනික් විශාල ප්‍රමාණ වලින් අනාවරණය කරගනු ලැබුවා. එම හෙලිදරව්වත් සමඟම සිරබාරයට පත් නැනී ඈ විසින් සිදුකළ මිනී මැරුම් 11 පිළිබඳව පාපොච්ඡාරණය කළත්, ඈ වෙත චෝදනා එල්ල කරනු ලැබුවේ ඉන් එක් මරණයක් සම්බන්ධව පමණයි. කාන්තාවක් වීම නිසා මරණ දඬුවමින් ගැලවුණු නැනී, 1965 දී ඔක්ලහෝමා ප්‍රාන්ත බන්ධනාගාර රෝහලේ දී ලියුකීමියාව නිසා මරණයට පත් වුණා.

ඇයව ‘හිනාවෙන නැනී’ වශයෙන් හැඳිවීමට හේතු වුයේ, ප්‍රශ්න කිරීම් අතරතුර දී ඈ නිතරම සිනාසීම නිසායි.

ඒමි ආචර් – ගිලිගන්

ඒමි ආචර්, 1873 දී ඇමරිකා එක්සත් ජනපදයේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ උපත ලැබ, සිය ‍රැකියාව වශයෙන් මහල්ලන් ‍රැක බලාගැනීම සිදු කළ තැනැත්තියක්. මහළු පුද්ගලයින්ට ‍රැකවරණය සලකන නිවාසයක පාලිකාව වශයෙන් සේවය කළ ඒමි, 1907 – 1917 අතර කාල වකවානුවේ දී සාත්තු නිවාසයේ නේවාසික රෝගීන් ද ඇතුළුව 60දෙනෙකු වත් ඝාතනය කරන්නට ඇතැයි සැලකෙනවා.

පළමු සැමියා ස්වභාවික හේතූන් යැයි සැකකළ කරුණු මත මිය යෑමෙන්  අනතුරුව ඔහුගේ රක්ෂණ මුදල් ලබාගන්නා ඒමි, ඉන් වසර තුනකට පසු දරුවන් සිව් දෙනෙක් ද සිටි වන්දඹු දානපතියෙකු සමඟ විවාහ වෙනවා. විවාහයෙන් මාස තුනකට පසුව මෙම දානපතියා ද ‘ස්වභාවික හේතු’ මත මියයන්නේ ඇයට විශාල මුදලකුත්, වතු පිටිත් ඉතිරි කර තබමින්. සැමියන්ගේ මරණයන්ගෙන් අනතුරුව ද ද ඈ ඇගේ සාත්තු නිවාසය පවත්වාගෙන ගියා.

ඒමි. (Wikipedia)

ඒමිව සැකයට භාජනය වූයේද එහි සිදු වූ ඉහළ මරණ ප්‍රතිශතය නිසායි. 1907 – 1910 කාල සීමාවේ දී නිවාසයේ සිදු වූයේ මරණ 12ක් පමණක් මුත්, 1911 – 1916 කාලයේ දී මරණ 48ක් සිදුව තිබුණා.

මෙම හේතු වලින් සැක උපදවාගත් පිරිස් මේ බව පොලිසියට වාර්තා කළත්, ඔවුන් මේ පිළිබඳව පරීක්ෂණ පැවත්වීමට දක්වා තිබුණේ මැලි බවක්. අන්තිමේ දී එක් ගම්වැසි කාන්තාවක් ප්‍රාදේශීය පුවත්පතකට මෙම තොරතුරු දන්වන ලදුව ඔවුන් විසින් මෙම ‘මරණයේ නිවාසය’ පිළිබඳව ලිපි මාලාවක් පලකෙරුනා. ඉන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය විසින් ඇගේ පෙර සැමියෙකුගේත්, නේවාසිකයින් සිව්දෙනෙකුගේත් සිරුරු නැවත ගොඩගෙන මරණ පරීක්ෂණ පැවැත්වූ අතර, ඒවායින් ආසනික් සහ ස්ට්‍රික්නීන් විෂ සොයාගනු ලැබුවා. ඒමි විසින් ‘මීයන් මැරීම උදෙසා’ විශාල ප්‍රමාණ වලින් මෙම විෂ මිළට ගෙන තිබූ නිසා ඇය වෙත සැකය එල්ල වූ අතර ඇයව සිරබාරයට ගැනුනා.

මිනීමැරුම් 5කට වරදකරුව මරණ දඬුවම හිමි වුණත්, සිය නීතීඥයින්ගේ දක්ෂතාවයෙන් තමා මානසික රෝගියෙකු යැයි අභියාචනයකින් ඔප්පු කළ ඒමි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා, 1962 දී කනෙක්ටිකට් බන්ධනාගාර රෝහලේ දී මරණයට පත් වෙනවා.

ඒමිගේ සාත්තු නිවාසය. (Tour Windsor CT)

මියුකි ඉශිකවා

මේ ජපාන ජාතික වින්නඹුව 1897 දී උපත ලද තැනැත්තියක්. මැය විසින් ඝාතනය කෙරුණේ වැඩිහිටි මිනිසුන් නොවේ, කුඩා දරුවනුයි. 1940 දශකය පුරාවටම අන් අයගේ ද සහය ඇතිව ඈ බිළිඳුන් 103 දෙනෙකු ඝාතනය කර තිබෙනවා.

‍තෝකියෝ විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ ඉශිකවා, කොතොබුකි මාතෘ රෝහලේ අධ්‍යක්ෂිකාවක් ලෙස සේවය කළ පළපුරුදු වින්නඹු කාන්තාවක්.

1940 දශකයේ යුදමය වාතාවරණය ද සමඟ ඇගේ රෝහලට රෝගී බිළිඳුන් විශාල ප්‍රමාණයක් විටින් විට ඇතුලත් කරනු ලැබුවා. මෙම බිළිඳුන්ට ප්‍රතිකාර කිරීමට අවැසි තරම් පහසුකම් රෝහලේ නොතිබූ අතර, ඔවුන් බොහොමයකගේ මව්පියන් ද දිළින්දන් වුණා.

මෙම අර්බුදයට විසඳුමක් ලෙස ඈ විසින් ඇතැම් බිළිඳුන් මරණයට පත්වන්නට ඉඩ හැරි අතර, එම යුද සමයේ බිළින්දන් හදා වඩාගැනීමට මුදල් අධිකව වැය වෙන නිසා, ඔවුන් මියයෑමෙන් දෙමාපියනට අත්වූයේ වාසියක් බවට අඟවමින් ඇතැම්විට දෙමාපියන්ගෙන් මුදල් ද ලබාගැනීමට උත්සාහ කර තිබුණා. රෝහල් වෛද්‍යවරයෙකු ද ඇගේ මෙම ක්‍රියාවලියට හවුල්ව තිබුණේ ව්‍යාජ මරණ සහතික සකස්කිරීමෙන්.

ඇගේ මෙම ක්‍රියාවන් හෙලිදරව් වූයේ වසේදා පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු විසින් දරුවන් පස්දෙනෙකුගේ මළ සිරුරු සොයාගැනීමෙන් අනතුරුවයි. මරණ පරීක්ෂණ හරහා මෙම දරුවන්ගේ මරණ ස්වභාවික නොවන බවට අනාවරණය වූ අතර, ඉශිකවා අත්අඩංගුවට ගැනුනා.

වැඩිදුර පරීක්ෂණ වලදී අවමංගල්‍ය අධ්‍යක්ෂකවරයෙකුගේ ආයතනයක තිබී තවත් බිළිඳු මෘත ශරීර 40ක් සොයාගැනුණු අතර, තවත් මළ සිරුරු 30ක් පන්සලකින් සොයාගනු ලැබුවා. ඇය විසින් මරා දැමුනු බිළිඳුන් සංඛ්‍යාව 103ක් බවට දළ වශයෙන් සැලකුවත්, එම සංඛ්‍යව 169 තරම් ඉහළ විය හැකි බව ද සැක කෙරුනා.

මෙම හෙලිදරව්වෙන් පසු අදාල බිළිඳු මරණ වලට වරදකාරිය බවට පත්කිරීමෙන් අනතුරුව ‍තෝකියෝ මහාධිකරණය විසින් ඇයට වසර 4ක සිර දඬුවමක් ලබාදෙනු ලැබූ අතර ඉන්පසු ඇය ගැන තොරතුරක් සඳහන් වන්නේ නැහැ.

කෙසේ නමුත්, ජපානයේ ගබ්සාව නීතිගත කිරීමට මෙම මිනී මැරුම් ද විශාල බලපෑමක් ඇති කළා. 1949 දී ආර්ථික දුෂ්කරතා මත ගබ්සා සිදු කිරීම ජපාන නීතිය යටතේ නීතිගත කෙරුණා.

ඉෂිකවා අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව. (Pinterest)

දුසිම් කීපයක් තරම් වන කාන්තා මිනී මරුවන් අතරින් මේ තිදෙනෙකු පමණයි. මීටත් වඩා විශාල මිනිසුන් සංඛ්‍යාවන්, මීටත් වඩා කුරිරු ලෙස ඝාතනය කළ කාන්තා මිනීමරුවන් ද ඉතිහාසයෙන් හමුවනවා. ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමට උනන්දු ද? එසේ නම් විටින් විට ලිපි පෙළක් ලෙස එම තොරතුරුද ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වනවා.

කවරයේ පින්තුරය: Tulsa World

cover image: nanniedoss.jpg      

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්