චරිත

විනාඩි 4 ක කියවීමක්

ලෝකයට පරිණාමවාදය කියා දුන් චාල්ස් ඩාවින්

Published

විනාඩි 4 ක කියවීමක් to read

Search Icon Search Icon Search Icon

චාල්ස් ඩාවින් විසින් ස්වභාවික වරණය ඔස්සේ ලෝකයට හඳුන්වා දුන් පරිණාමවාදය මේ ලෝකය මිනිසාට හිමි ස්ථානය ගැන යළිත් වරක් සිතා බලන්නට අපට පදනමක් සකස් කර දුන් බව රහසක් නොවෙයි. මිනිසා වානරයින් සමඟ පොදු මුතුන්මිත්තෙක් බෙදා හදා ගත් බවට ඔහු විසින් ඉදිරිපත් කළ අදහස එවකට බටහිර ශිෂ්ඨාචාරයන් තුළ මුල් බැස ගත් විද්‍යා අඩිතාලම සම්පූර්ණයෙන් ම අභියෝගයකට ලක් කළා.

(en.wikipedia.org)

තමන් විසින් සොයා ගත් නව දැනුම විසි වසරක් තිස්සේ රහසක්ව තබා ගත් චාල්ස් ඩාවින් අවසානයේ දී ඔහුගේ ‘On the Origin of Species’ නම් ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේ ඔහු විසින් සිදු කළ මිනීමැරුමක් ගැන පාපෝච්චාරණයක් කරන්නාක් මෙන් යැයි පැවසීම විහිළුවක් නම් නෙමෙයි. ලෝක ඉතිහාසයේ ප්‍රබල ම විප්ලවවාදී අදහස ඉදිරිපත් කළ මිනිසාගේ කතාව යි මේ.

1809 : නිදහස් අදහස් ඇති පවුලකට උපන් චාල්ස්

එංගලන්තයේ බටහිර දෙසට වන්නට පිහිටා ඇති ශෘෘස්බරි නම් කුඩා නගරයේ දී 1809 පෙබරවාරි 12 වැනි දින චාල්ස් රොබට් ඩාවින් උපත ලබන්නේ වෛද්‍යවරයෙකු වූ රොබට් ඩාවින්ගේ සහ සුසානා වෙජ්වුඩ් ඩාවින්ගේ පස් වැනි දරුවා ලෙස යි.

හත් හැවිරිදි කුඩා චාල්ස් (en.wikipedia.org)

කුඩා චාල්ස් ක්‍රිස්තියානි ආගමික පසුබිමක් සහිතව හැදී වැඩුණ ද ඔහුගේ පවුල නව අදහස්වලට විවෘත වූ මනා අධ්‍යාපනයක් ලද සාමාජිකයන්ගෙන් සමන්විත වූවක්. එ් අතරින් වැදගත් ම ස්ථානයක් හිමි වුණේ ඔහුගේ මුත්තණුවන් දෙපලට යි. ධනවත් කර්මාන්තශාලා හිමියෙක් වූ ජොසායා වෙජ්වුඩ් වහල් සේවයට එරෙහි ව නැගී සිටි ප්‍රබල ක්‍රියාකාරියෙකු වූ අතර වෛද්‍යවරයෙකු වූ ඉරාස්මස් ඩාවින්, එක් සත්ත්ව විශේෂයකට තවත් සත්ත්ව විශේෂයක් බවට පරිවර්තනය විය හැකියාවක් පවතී යැයි වැනි මතභේදාත්මක කරුණු ඇතුළත් ‘Zoonomia’ නම් ග්‍රන්ථයේ කතුවරයා යි.

1825 : එඩින්බර්ග් හි දී මතු වූ නව අදහස්

ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ චාල්ස්, තම පියාගේ සහ මුත්තණුවන්ගේ අඩි පාරේ යමින් වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා එඩින්බර්ග් විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර සරසවි අධ්‍යාපනය ඇරඹීමට පෙර පැමිණි වසන්ත ඍතුව පුරාවට ම තම පියා යටතේ ආධුනිකයෙකු වශයෙන් ද පුහුණුවක් ලබා ගත්තා.

එඩින්බර්ග් සරසවි වෛද්‍ය පීඨය අද (en.wikipedia.org)

එසේ වුවත් චාල්ස් හොඳ වෛද්‍ය ශිෂ්‍යයෙකු වූයේ නැහැ. විශ්ව විද්‍යාල දේශන ඔහුට නීරස වූ අතර වේදනා නාශක හෝ නිර්වින්දක ක්‍රම සොයාගෙන නොතිබුණු ඒ කාලයේ සිදු කරන ලද අතිශය දරුණු ශල්‍යකර්ම ඔහුගේ මනස පීඩාවට පත් කළා.

නමුත් එඩින්බර්ග් සරසවියට ඇතුළත් වීමේ ප්‍රතිලාභය ඔහු මනාව භුක්ති වින්දේ එවකට වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා එංගලන්තයේ පැවති විශිෂ්ටතම ආයතනය ලෙස සැලකූ එයට නිදහස් චින්තකයන් බොහෝමයක් දෙනා ඇදී ආ නිසාවෙන්. තත්ත්වාන්තරකරණය (එදවස පරිමාණවාදය හඳුන්වන ලද්දේ මෙසේ යි) නොහොත් එක් සත්ත්ව විශේෂයකට තවත් සත්ත්ව විශේෂයක් බවට පරිවර්තනය විය හැකියාව පිළිබඳ ව නවත ම තොරතුරු ඔහුට දැන ගැනීමට ලැබුණේ එහි දී යි.

1827 : කේම්බ්‍රිජ් හි දී ඇරඹූ කුරුමිණි එකතුව

චාල්ස් ඩාවින්ගේ කුරුමිණි එකතුවෙන් කොටසක් (pinterest.com)

වෛද්‍යවරයෙක් වීමට තිබුණු සැලසුම අත්හැර දැමූ චාල්ස්ගේ ඊළඟ අරමුණ වූයේ පූජකයෙක් වීම යි. ඒ අනුව වයස අවුරුදු 18ක්ව තිබිය දී ඔහු දේවධර්මය ඉගෙනීම සඳහා කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත් වුණා.

ක්‍රිස්තියානි ආගමික පසුබිමක් සහිතව හැදී වැඩුණත් දෙවියන් පිළිබඳ දැඩි විශ්වාසයක් තරුණ චාල්ස් තුළ තිබුණේ නැහැ. නමුත් පූජකයෙකු වීම සඳහා අධ්‍යාපනය හදාරන අතරතුර දී ඔහු දැඩි ආශාවක් දැක් වූ ජීව විද්‍යාව හැදෑරීමට අවශ්‍ය කරන කාලය ඔහු ඕනෑවටත් වඩා පැවති අතර ඔහුගේ කාලයෙන් වැඩි කොටසක් ගත වූයේ වගුරු බිම්වල සැරිසරමින් කුරුමිණියන් එකතු කිරීම සඳහා යි. කේම්බ්‍රිජ් හි සිව් වසරක් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරු ව චාල්ස්ට පූජකවරයෙක් ලෙස වෘත්තිය ඇරඹීමට හැකියාව ලැබුණා. එහෙම ඔහුගේ ජීවිතය වෙනස් වූයේ නොසිතූ ලෙස යි.

කේම්බ්‍රිජ් සරසවියේ දේවස්ථානය (en.wikipedia.org)

1831 : ලෝකය වටේ සවාරියක්

ජීව විද්‍යාව කෙරෙහි චාල්ස්ගේ ඇති උනන්දුව ගැන දැන සිටි කේම්බ්‍රිජ් හි ඔහුගේ ගුරුවරයා ඔහුට HMS Beagle නම් නෞකාව මගින් ලොව වටා සවාරියක් යාමට අවස්ථාවක් සලසා දුන් අතර එයින් පසු ව එළැඹි පස් වසරක කාලය තුළ මහාද්වීප හතරක් ඔස්සේ සංචාරය කරමින් චාල්ස් සිදු කළේ ඔහුගේ කුරුමිණි එකතුවට තව තවත් නිදර්ශක එක් කිරීම සහ භූ විද්‍යාව හැදෑරීම යි.

1835 : ගැලැපගෝස් දූපත්

HMS Beagle නෞකාව (en.wikipedia.org)

දකුණු ඇමරිකානු මහද්වීපය තරණයෙන් පසුව HMS Beagle නෞකාව ඉක්වදෝරයට සැතපුම් 600 ක් පමණ ඈතින් පිහිටි ගැලැපගෝස් දූපත් හි සති පහක කාලයක් නැංගුරම් ලා සිටි අතර එම කාලය තුළ දී චාල්ස්ට එහි සිටි ෆින්ච් කුරුල්ලන්, ඉබ්බන් සහ මොකින්ග් කුරුල්ලන් අධ්‍යයනය කිරීමට අවස්ථාවක් හිමි වුණා. නමුත් එහි දී සොයා ගන්නා ලද තොරතුරු වැදගත් නිගමනයට එළැඹීමට ප්‍රමාණවත් වූයේ නැහැ.

1838 : පරිමාණවාදය ගැන කටු සටහනක්

දීර්ඝ මුහුදු චාරිකාවෙන් පසු ව යළි එංගලන්තය බලා පැමිණි චාල්ස්, ඔහු විසින් එකතු කළ සත්ත්ව නිදර්ශක අනෙකුත් ජීව විද්‍යාඥයින්ට පෙන් වූ අතර ඔහු විසින් නිරීක්ෂණය කරන්නට යෙදුණු කරුණු සියල්ල පිළිවෙළකට සටහන් කිරීම ආරම්භ කළා. එසේ සටහන් කරන අතරතුර දී එ් කාරණා එකිනෙක සම්බන්ධ වෙමින් තත්ත්වාන්තරකරණය ඇති වෙන අයුරු චාල්ස්ට පැහැදිලි වූයේ ජීවයේ පැවැත්ම පිළිබඳ ව ඔහු දේවධර්මයේ දී ඔහුට උගන්වන ලද කාරණා සියල්ල බිඳ හෙලමින්.

ඒ අනුව පරිණාමවාදයේ මුල් පියවර ලෙස ඔහු ස්වභාවික වරණය නම් සංකල්පයක් හඳුනා ගත්ත ද තම මුත්තණුවන් තත්ත්වාන්තරකරණය පිළිබඳ ව ඉදිරිපත් කරන ලද සංකල්ප සමාජය තුළ මතභේදයට ලක් වූ බැවින් තම අදහස් ප්‍රකාශයට පත් කිරීමට පෙර තවත් සාක්ෂි සොයා ගැනීමට තීරණය කළා.

චාල්ස් ඩාවින්ගේ බිරිඳ වූ එමා වෙජ්වුඩ් (wikimedia.org)

මේ කාලයේ දී ම ඔහු තම ඥාතිවරියක් වූ එමා වෙජ්වුඩ් සමග විවාහ වූ අතර ඔවුන්ගේ දරුවන් දස දෙනා ම හැදී වැඩුණේ සාම්ප්‍රදායට පටහැනි ව ගිය නිදහස් පරිසරයක් තුළ යි.

1858 : පරිණාමවාදය අලුතෙන් ලියූ ඩාවින් සහ වොලස්

1858 වසරේ වසන්ත ඍතුව වන විට චාල්ස් ඔහු විසින් සොයා ගත නව සංකල්පය පිළිබඳ අදහස් දහස් ගණනක් වචනයට නගා තිබුණ ද ඒ කිසිවක් ප්‍රකාශයට පත් කර තිබුණේ නැහැ. ඔහුට ඇල්ෆ්‍රඩ් රසල් වොලස්ගෙන් ලිපියක් ලැබුණේ තම අදහස් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ ව දෙගිඩියාවෙන් සිටින විට යි.

ඇල්ෆ්‍රඩ් රසල් වොලස් (en.wikipedia.org)

වොලස් තනිව ම ස්වභාවික වරණය සිදු වන ආකාරයට පිළිබඳ ව නිගමනයට පැමිණ තිබුණ අතර එයට ප්‍රකාශයට පත් කළ යුතු ආකාරය පිළිබඳව ඔහු චාල්ස්ගෙන් උපදෙස් පතා තිබුණා. තමන්ගේ වසර ගණනක මහන්සිය වෙනත් අයෙකුට ලැබෙන බව පෙනී ගියත් වොලස්ට හිමි විය යුතු කීර්තිය ඔහුට ලබා දිය යුතු බව චාල්ස් තීරණය කළ අතර අවසානයේ දී චාල්ස් ඩාවින් සහ ඇල්ෆ්‍රඩ් රසල් වොලස් යන දෙදෙනා ම පරිණාමවාදය පිළිබඳ ව තම තමන් සොයා ගත් කරුණු එක ම අවස්ථාවක දී ලෝකයට ඉදිරිපත් කළ යුතු බවට එකඟතාවයකට පැමිණිය මුත් චාල්ස්ගේ මාස 18 ක් වයසැති පුතු රතු උණට ගොදුරු වී මිය යාම නිසා අදාළ ඉදිරිපත් කිරීමට සහභාගි වීමට ඔහුට හැකි වූයේ නැහැ.

1859 : ‘On the Origin of Species’ කෘතිය

(wikimedia.org)

තමන් විසින් සොයා ගත් නව දැනුම විසි වසරක් තිස්සේ රහසක් ව තබා ගත් චාල්ස් ඩාවින් අවසානයේ දී එය ‘On the Origin of Species’ නමින් එළි දැක් වූ අතර එය ලොව පුරා විකිණී ගියේ පිටපත් දහස් ගණනින්. පසු කාලීන ව ඔහු පරිමාණවාදය ගැන පමණක් නොව සමීප ඥාතීන් අතර විවාහයන් සිදු වීමේ අයහපත් ප්‍රතිඵල, පස සංරක්ෂණය කිරීම උදෙසා ගැඩවිලි පණුවන් ලබා දෙන දායකත්වය, මිනිසාගේ පැවැත්ම වැනි මාතෘකා රාශියක් ඔස්සේ තම අදහස් පළ කර තිබෙනවා.

1882 : චාල්ස් ඩාවින්ගේ මරණය

අධික ලෙස වෙහෙස වී වැඩ කිරීම නිසා රෝගතුර වූ චාල්ස්, 1882 අප්‍රේල් 19 වැනි දින ඔහුගේ මරණය සිදු වන තෙක් ම තම පර්යේෂණවල යෙදී සිටි බව කියැවෙනවා. තම නිවසේ දී පවුලේ උදවිය සමග කතාබස් කරමින් සිටිය දී මිය ගිය ඔහුගේ අවසන් වදන් වූයේ “එමා, මම මිය යන්න බය නැහැ. ඔබ මට කොතරම් හොඳ බිරිඳක් වූවා ද යන්න සෑම විට මතක තබා ගන්න” යන්න යි.

(thoughtco.com)

චාල්ස්ගේ කැමැත්ත වූයේ ඔහු ජීවත් වූ ගම්මානයේ සොහොන් බිමෙ හි මිහිදන් වීම වුවත් අප්‍රේල් 26 වැනි දින දහස් ගණනක්ගේ ගෞරව සහිතව වෙස්ට්මිනිස්ටර් ඇබේ හි ශ්‍රීමත් අයිසැක් නිව්ටන්ගේ ස්මාරකයට යාබදව ඔහුව මිහිදන් කර තිබෙනවා.

කවරයේ පින්තූරය: hypescience.com

Picture 1

මූලාශ්‍ර :

  1. bbc.co.uk
  2. en.wikipedia.org
  3. biography.com
  4. global.britannica.com

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්