විද්‍යාව සහ තාක්ෂණය

විනාඩි 3 ක කියවීමක්

ශ්‍රී ලංකාව අැතුළු සමකාසන්න රටවල් මුහුණ දෙන නිවර්තන සෘතු

Published

විනාඩි 3 ක කියවීමක් to read

Search Icon Search Icon Search Icon

‘සෘතු’ යන වදන ඇසුණු සැනෙන් අපේ සිහියට නැගෙන්නේ යුරෝපයේ දී අත් විඳින්නට ලැබෙන මලින් බර වසන්තය, දැඩි හිරු රශ්මියෙන් නැහැවෙන ගිම්හානය, වෘක්ෂයන්ගෙන් වර්ණැති පත්‍ර ගිලිහී යන හේමන්තය සහ හිමෙන් වැසී ගිය සිසිරය යි. මෙසේ සැලකිය යුතු තරමේ විවිධත්වයකින් යුුතු ව නැගෙනහිර හෝ බටහිර අර්ධ ගෝලයේ දී සෘතු දක්නට ලැබෙන්නේ පෘථිවිය ආනත පිහිටීමක් සහිත ව හිරු වටා ගමන් කිරීම නිසාවෙන්.

(threshwoman.com)

ලෝකයේ සෑම රටක් ම පාහේ සෘතු වෙනස් වීමට මුහුණ දෙන නමුත් සමකය ආසන්නයේ පිහිටි රටවල දී මෙසේ සෘතුවල වෙනස් වීම පැහැදිලි ව දක්නට ලැබෙන්නේ නැහැ. සාම්ප්‍රදායික ව සෘතු ලෙස සැලකෙන වසන්තය, ගිම්හානය, හේමන්තය සහ සිසිරය වෙනුවට සමකය ආසන්නයේ පිහිටි රටවල දී දක්නට ලැබෙන්නේ වැසි සමය සහ වියළි සමය යනුවෙන් නම් කෙරෙන නිවර්තන සෘතු යි.

(en.wikipedia.org)

නිවර්තන කලාප යනුවෙන් හඳුන්වන්නේ පෘථිවියේ සමකය වටා පිහිටි භූමි කලාපය හෙවත් උතුරු අර්ධ ගෝලයේ කටක නිවර්තනය සහ දකුණු අර්ධ ගෝලයේ මකර නිවර්තනයට මැදි ව පිහිටි ප්‍රදේශය යි. මෙම සීමාවන් පෘථිවියේ ආනතිය හා අනුරූප වන අතර නිවර්තන කලාපය තුළ පිහිටි රටවල් සියල්ලට ම වසරකට අඩු තරමේ එක් වරක් හෝ හිරු මුදුන් වීම (රටට හරියට ම ඉහළින් හිරු පිහිටීම) සිදු වෙනවා.

නිවර්තන කලාපයේ දේශගුණය

(youtube.com)

සාමාන්‍යයෙන් ‘නිවර්තන’ යන වදන හා බැඳී පවතින්නේ උණුසුම් දහවල් කාලයන්, වසර පුරා දක්නට ලැබෙන සීතල අඩු තෙත් බව සහ සාරවත් වැවිලි යි. නිවර්තන කලාපයේ බොහෝ රටවල වැසි සමයක් සහ වියළි සමයක් දක්නට ලැබෙනවා.

නමුත් නිවර්තන රටවල පිහිටි වැසි වනාන්තරවල දී දක්නට ලැබෙන දේශගුණය වැසි සමය හෝ වියළි සමය ලෙස බෙදීමකට ලක් කරන්නේ නැහැ. එයට හේතුව වැසි වනාන්තරවල දී වර්ෂය පුරාවට ම ඒකාකාර වර්ෂාපතනයක් දක්නට ලැබීම යි.

වැසි සමය සහ එහි බලපෑම

පොදු ව්‍යවහාරයේ දී යම් ප්‍රදේශයකට වාර්ෂික වර්ෂාපතනය ඇද හැලෙන මාස කිහිපයක කාලය වැසි සමය ලෙස සැලකෙනවා. නමුත් Köppen දේශගුණික වර්ගීකරණය අනුව කිසියම් නිවර්තන රටක සාමාන්‍ය මාසික වර්ෂාපතනය මිලිමීටර් 60 ඉක්මවනවා නම් එය වැසි සමයට අයත් මාසයක් යටතට ගැනෙනවා. මෙම කාලය ඇතැම් අවස්ථාවල දී මෝසම් සමය  (monsoon season) හෝ හරිත සමය (green season) ලෙස ද හඳුන්වනවා.

(zabrdast.com)

ඇතැම් කාලවල දී වියළි සමය පවතින විට දී ද වැසි සමය ඇරඹෙන අවස්ථා දැක ගැනීමට හැකි යි. එවැනි විටෙක දී බොහෝ විට වර්ෂාපතනය ඇද හැලෙන්නේ සවස් යාමයේ දී යි. මීට අමතර ව වැසි සමය ආරම්භ වීමත් සමග මිරිදිය ජල මට්ටම ඉහළ යාම සහ සැලකිය යුතු ලෙස වගාවන් ලියලන අයුරු සුලබ ව දක්නට ලැබෙනවා.

වැසි සමය ඇරඹීමත් සමග ම දහවල් කාලයේ දී පැවති අධික උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පහළ වැටෙන අතර රාත්‍රී කාලයේ දී පවතින පහළ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යාම සිදු වෙනවා. එසේ ම වැසි සමයේ දී පවතින දැඩි වර්ෂාපතනය සහ මුහුද දෙසින් රට තුළට හමාගෙන එන සුළඟ හේතුවෙන් රට තුළ ඇති වාතයේ ගුණත්වය ඉහළ යාමක් දක්නට හැකි යි. එසේ ම දේශීය ජලධරයේ pH අගය වඩාත් සමතුලිත වන්නේ ද වැසි සමය පවතින විට දී යි.

(cdn.newsapi.com.au)

වැසි සමයේ දී මුහුණ දීමට සිදු වන තවත් භයංකර ආපදාවන් වන්නේ ගංවතුර තත්ත්වයන් ඇති වීම සහ ඒ හේතුවෙන් හට ගන්නා පාංශු ඛාදනයන්. ඇතැම් අවස්ථාවල දී වියළි සමය තුළ පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් පස වඩාත් වියළි සහ වැලි සහිත ස්වභාවකට පත් වීම වැසි සමයේ දී ඇති වන ගංවතුර සහ නාය යෑම් දැඩි ලෙස දරුණු වීමට හේතු වෙනවා.

(kralovstvizen.cz)

වගාවන් හි වර්ධනයට මෙන් ම සතුන්ගේ වර්ධනයටත් විශාල වශයෙන් බලපෑම් කරන සෘතුවක් ලෙස වැසි සමය හැඳින්විය හැකි යි. කුර සහිත සත්ත්ව විශේෂ බොහෝමයක් උපත ලබන්නේ වැසි සමය ඇරඹීමත් සමග යි. එසේ ම බොහෝමයක් සමනල විශේෂ වියළි ප්‍රදේශයන් කරා ඇදී යාම ද වැසි සමයේ දී සුලබ ව දක්නට ලැබෙනවා. මැලේරියා රෝගකාරක මදුරුවන් බෝ වීම සිදු වන්නේ ද වැසි සමයේ දී බැවින් ඒවා වැළැක්වීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

වියළි සමය සහ එහි බලපෑම

නිවර්තන කලාපයේ අඩු ම වර්ෂාපතනයක් සහිත කාල සීමාව හඳුන්වන්නේ වියළි සමය ලෙස යි. සාමාන්‍යයෙන් නිවර්තන කලාපයේ පවතින කාලගුණය තීරණය වන්නේ නිවර්තන වැසි තීරුව (tropical rain belt) මත යි. ඒ අනුව සාමාන්‍යයෙන් දකුණු අර්ධ ගෝලයට ඔක්තෝම්බර් සිට මාර්තු දක්වා වන කාල සීමාව තුළ නිවර්තන වැසි තීරුව පවතින විට උතුරු අර්ධ ගෝලයේ රටවලට ද, උතුරු අර්ධ ගෝලයට අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා වන කාල සීමාව තුළ නිවර්තන වැසි තීරුව පවතින විට ද දකුණු අර්ධ ගෝලයේ රටවලට ද වියළි සමය පවතිනවා.

(morewallpapers.com)

මීට අමතර ව Köppen දේශගුණික වර්ගීකරණය අනුව කිසියම් නිවර්තන රටක සාමාන්‍ය මාසික වර්ෂාපතනය මිලිමීටර් 60 නොඉක්මවනවා නම් එය වියළි සමයට අයත් මාසයක් යටතට ගැනෙනවා. සාමාන්‍යයෙන් වියළි සමය තුළ දී අඩු ආර්ද්‍රතාවක් පවතින අතර ගංගා සිඳී යාම සහ ලැව්ගිනි ඇති වීම ද සුලබ ව දකින්න පුළුවන්.

දළ වශයෙන් නිවර්තන වැසි තීරුව උතුරු දෙසින් කටක නිවර්තනය ආසන්නයට ද, දකුණු දෙසින් මකර නිවර්තනය ආසන්නයට ද ගමන් කරනවා. මේ හේතුවෙන් අදාළ නිවර්තන දෙක ආසන්නයේ දී එක් වැසි සමයක් සහ එක් වියළි සමයක් පමණ යි දක්නට ලැබෙන්නේ. නමුත් සමකය මතින් නිවර්තන වැසි තීරුව වසරකට දෙවරක් ගමන් කරන බැවින් සමකය ආසන්නයේ පිහිටා ඇති රටවලට වැසි සමයන් දෙකක් සහ වියළි සමයන් දෙකක් අත් විඳීමට ලැබෙනවා.

කවරයේ පින්තූරය: (allswalls.com)

මූලාශ්‍ර :

  1. en.wikipedia.org
  2. sites.google.com
  3. ecoca.ro
  4. thebritishgeographer.weebly.com

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්